වියට්නාමයේ බෝට්ටු අනතුරින් අතුරුදන්ව සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරා ගැනේ

වියට්නාමයේ බෝට්ටු අනතුරින් අතුරුදන්ව සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරා ගැනේ

July 20, 2025   06:06 pm

වියට්නාමයේ සංචාරක බෝට්ටුව පෙරළී සිදු වූ අනතුරින් අතුරුදන්ව සිටි පිරිමි දරුවෙකු පැය ගණනකට පසුව නිරුපද්‍රිතව බේරා ගැනීමට එරට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වී තිබේ.

මෙම දරුවා බෝට්ටුවෙහි air pocket එකක් තුළ සිරවී සිට ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් ඔහුව මුදා ගෙන රෝහලට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අද (20) උදෑසන සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

එමෙන්ම තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තවමත් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වී ඇති අතර අනතුර සිදුව ඇත්තේ එරට උතුරු ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්කෙහිය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මගීන්ගෙන් බහුතරයක් හැනොයි අගනුවර සිට පැමිණි පිරිස් බවද සඳහන් වේ.

එරට ගලවා ගැනීමේ කණ්ඩායම් පැවසුවේ අනතුරින් අතුරුදන්වුවන් සෙවීමට අධික වර්ෂාව බාධාවක් වී ඇති බවය.

අනතුරට පත්වන අවස්ථාව වන විට මෙම බෝට්ටුව තුළ පුද්ගලයින් 53 දෙනෙකු සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.