වෙඩිතැබීමකට අනුබල දුන් පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

වෙඩිතැබීමකට අනුබල දුන් පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

July 20, 2025   06:28 am

වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබේ.

පොලිසිය පවසන්නේ ඊයේ (19) රාත්‍රී අදාළ පුද්ගලයාගේ දෙමහල් නිවස තුළ දී එම ඝාතනය සිදුකර ඇති බවයි.

මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ත්‍රිරෝද රථයකින් අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණ තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඝාතනය සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද නිවසේ සිට තිබේ.

මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අයෙකු වන අතර ඔහු මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නිවසක් කුලී පදනම යටතේ ලබාගෙන බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ජීවත්ව සිට ඇති බව සඳහන්ය.

මියගිය පුද්ගලයා 2023 වර්ෂයේ මහබාගේ ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකු අත්අඬංගුවට ගෙන නොමැති අතර වත්තල පොලිස් ස්ථානය මඟින්‍ හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කොට ඇත.