කෙතරම් බාධක පැමිණියත් වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කරනවා - ඇමති ලාල්කාන්ත 

කෙතරම් බාධක පැමිණියත් වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කරනවා - ඇමති ලාල්කාන්ත 

July 19, 2025   02:53 pm

කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් පිළිබඳ ගන්නා පියවර සම්බන්ධයෙන් කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ඊයේ (19) අදහස් පළ කරමින් මේ බව සඳහන් කළේය.

මෙරට වැව් රක්ෂිත 23ක සීමා සලකුණු කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළක් ආරම්භ කළේ එය ජාතික අවශ්‍යතාවක් ලෙස සලකමින්ය.

ඒ සඳහා වන පළමු පියවර ලෙස සියලු වැව් රක්ෂිතවල සීමා සලකුණු කිරීමේ වැඩපිළිවෙළ රජය අද ආරම්භ කෙරුණේ නුවර වැවේ රක්ෂිතයේ සීමාවල වාරිමාර්ග දෙපාර්තමේන්තු සලකුණ සටහන් කරමින්ය.

අනුරාධපුර නුවර වැව, කන්තලේ වැව, ගිරිතලේ වැව, පුත්තලම තබ්බෝව වැව, වාරියපොළ දැදුරුඔය ජලාශය , මින්නේරිය වැව, හම්බන්තොට තිස්ස වැව, හම්බන්තොට රිදියගම වැව, මාපාකඩ දම්බරාවැව, බදුල්ල දෙමෝදර වැව, මඩකලපුව උන්නච්චයි වැව, මඩකලපුව නවකිරිවැව, මාතර කැකණදුර ඇල්ල කන්දවැව ඇතුළු වැව් 23ක රක්ෂිත මායිම් ලකුණු කිරීම සිදුකෙරේ.

අනුරාධපුර නුවර වැව රක්ෂිතයෙන් මෙම ක්‍රියාන්විතය ආරම්භ කෙරෙන බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පසුගියදා සඳහන් කළේය.

එම රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් කර විධිමත් වාර්තාවක් සැකසිය යුතු බවටත් එහිදී තීරණය කෙරුණි.

ඒ අනුව නුවර වැව රක්ෂිතයේ ඉදිකර ඇති මහ ඇමති නිල නිවස, ආණ්ඩුකාර නිවස හා අබිමන්සල යන ඉදිකිරීම් ඉවත් කිරීමට ද එම කමිටුවේ තීරණය කෙරුණු බව වාර්තා වෙයි.