විනාශ කිරීමට ගිය මත්පැන් බෝතල් ඇතුළේ වෙනත් ද්‍රාවණයක් 

විනාශ කිරීමට ගිය මත්පැන් බෝතල් ඇතුළේ වෙනත් ද්‍රාවණයක් 

July 19, 2025   01:45 pm

බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකින් පොලිස් භාරයට ගත් මත්පැන් බෝතල් තොගයක මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

ඒ අනුව අදාළ මත්පැන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගැනුණි.

බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවක තිබී පොලිස් භාරයට ගත් මෙම මත්පැන් බෝතල් තොගය පසුගිය පෙබරවාරි මාසයේදී විනාශ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

අදාළ මත්පැන් තොගය මහේස්‍ත්‍රාත්වරයා ඉදිරියේදී විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ සිදුකළ පරීක්ෂා කිරීමකදී අනාවරණ වී ඇත්තේ, බෝතල් කිහිපයක මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් යොදා ඇති බවය.

ඒ අනුව ඒවා විනාශ කිරීම නවත්වා ඒවා නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

අනතුරුව ඒ පිළිබඳව විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරී ඇති අතර අදාළ මත්පැන් බෝතල් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා ඒවා රස පරීක්ෂකවරයා වෙත යොමුකළ යුතු බවට අදාළ කොට්ඨාසය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළේය.

ඊට අවසර ලබාදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි වැඩිදුරටත් නියෝග කළේ, මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් එක්වූයේ කෙසේදැයි විමර්ශනයක් සිදුකර ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.