විදුලිය විසන්ධි වුණොත් හැටන් දුම්රිය ස්ථානය රෑට අඳුරේ
July 19, 2025 01:06 pm
හැටන් දුම්රිය ස්ථානයේ විදුලි උත්පාදක යන්ත්‍රයට ඉන්ධන ලබානොදීම හේතුවෙන් රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි වෙන අවස්ථාවන්වලදී දුම්රිය ස්ථානය දැඩි අඳුරේ පවතින බව වාර්තා වෙයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අධික සුළං සමග පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ විදුලි බලය වරින්වර විසන්ධි වන බවත් වාර්තා සඳහන් ය.
එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පැවසුවේ, දුම්රිය ස්ථානය සතුව විශාල විදුලි උත්පාදක යන්ත්‍රයක් තිබුණද ඉන්ධන ලබානොදීම හමුවේ හැටන් දුම්රිය ස්ථානය මෙලෙස අදුරේ පවතින බවය.
උඩරට දුම්රිය මාර්ගයේ ඉතා කාර්යබහුල සහ මගීන් විශාල පිරිසක් දුම්රියෙන් ගමන්බිමන් යන දුම්රිය ස්ථානයක් ලෙස හැටන් දුම්රිය ස්ථානය හඳුනාගෙන තිබුණත් මේ දිනවල වරින්වර විදුලිය බිඳවැටීමත් සමග මගීන් දැඩි පීඩාවට පත්වෙන බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් දුම්රිය මගීන් දුම්රිය ස්ථානාධිපතිවරයාට පැමිණිලි කිරීමට පවා කටයුතු කර තිබුණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැකුවූ හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ, හැටන් දුම්රිය ස්ථානය සතුව පවතින විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිකුත් නොකරන බවය.
විදුලි උත්පාදක යන්ත්‍රයේ ඉන්ධන ටැංකිය තුළ 20%ට වැඩි ඉන්ධන ප්‍රතිශතයක් තිබේ නම් පමණක් විදුලි උත්පාදක යන්ත්‍රය අවශ්‍යතාවය පරිදි ක්‍රියාත්මක කරන ලෙස දුම්රිය ඉංජිනේරු අංශය විසින් උපදෙස් ලබාදී ඇති බවත්, මේ වනවිට එම විදුලි උත්පාදක යන්ත්‍රයේ 17%ක ඉන්ධන ප්‍රමාණයක් ඇති නිසා විදුලි උත්පාදන යන්ත්‍රය ක්‍රියාත්මක කළ නොහැකි බවත් හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
ඉකුත් අප්‍රේල් මාසයේ විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් ලීටර් 50ක් ඉල්ලා ලිපියක් යොමු කළ බවත්, එයට මෙතෙක් දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර නොලැබුණු බවත් ඔහු පැවසීය.
ඩීසල් ඉන්ධන ලීටර් 50ක් තමන්ට ලැබෙන්නේ නම් එම ඉන්ධන ප්‍රමාණය මාස 05කට පමණ ප්‍රමාණවත් බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.