පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවූ මුදල් ගැන දැනුම්දීමක්
February 27, 2025 01:43 pm
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දු අනුව, අයකරගත් මුදල්වලින් රුපියල් මිලියන 245ක් වින්දිතයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12ක් අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගවලට අදාළව රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇති බවයි.
ඉන් පසුගිය ජනවාරි මස 31වනදා වනවිට රුපියල් මිලියන 245ක මුදලක් වන්දි වශයෙන් වින්දිතයින්ට ගෙවා තිබෙන බවද ඇය දැනුම් දුන්නාය.
ඒ අනුව ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් 412 දෙනෙකුට මේ යටතේ වන්දි ගෙවා තිබෙන බවත්, ඊට මියගිය පුද්ගලයින් 215 දෙනෙකු ඇතුළත් බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.
අධිකරණ නියෝග මත ලැබුණු වන්දි මුදල්වලින් තවත් මිලියන 65ක් ඉතිරිව තිබෙන බවත්, ඒවා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යකරන වින්දිතයින් සහ වින්දිත වැඩිහිටියන්ගේ රැකවරණ කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවත් ඇය පැවසුවාය.
මෙහිදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා සහ පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දක්වූහ.
ඔවුන් මෙම වන්දි ගෙවීම් කටයුතුවලට අදාළ සවිස්තර වාර්තා තමන් වෙත ලැබී නොමැති බව සඳහන් කළේය.
එහිදී මෙම වාර්තා පෙත්සම්කාර පාර්ශවයට ලබා නොදුන්නේ ඇයි දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරියගෙන් ප්‍රශ්නකළ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය, මෙම නඩුව අද කැඳවනු ලබන්නේ වින්දිතයින්ට වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමට බව සිහිපත් කළාය.
එහෙත් එම වාර්තා පෙත්සම්කාර පාර්ශවයට ලබාදී නොතිබීම නිසා මෙම නඩුව අද දින කැඳවීමේ අරමුණ ඉටු නොවන බවත් අගවිනිසුරුවරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළාය.
ඒ අනුව වින්දිතයින්ට වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් කාදිනල්තුමා ඇතුළු පෙත්සම්කාර පාර්ශවයට නොපමාව ලබාදෙන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, එම කටයුතු විමසා බැලීම සඳහා මෙම නඩුකරය ලබන මැයි මස 21වනදා කැඳවන බව නියෝග කළේය.