අයහපත් කාලගුණයෙන් විශාල පිරිසක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් විශාල පිරිසක් පීඩාවට

December 1, 2024   10:21 am

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 53,888කට අයත් පුද්ගලයින් 143,726දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල සහ ඥාති නිවාසවල රැඳී සිටී.

ඒ අනුව, පවුල් 45,418කට අයත් පුද්ගලයින් 116,209දෙනෙකු ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 229ක පවුල් 8470කට අයත් පුද්ගලයින් 27,517දෙනෙකු රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර නිවාස 103ක් පූර්ණ හානියට ලක්ව ඇති අතර නිවාස 2635ක් අර්ධ හානියට ලක්ව තිබේ.

මේ වන විට දිස්ත්‍රික්ක 24ක පවුල් 142,624කට අයත් පුද්ගලයින් 479,871දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළම දිවයිනේ පළාත් රැසකට බලපෑම් එල්ලවුණි.
   
ඇදහැලුණ අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය, පේරාරු, උල්හිටිය රත්කිඳ, පොල්ගොල්ල, නාච්චදූව, රාජංගනය, කලාවැව සහ වෙහෙරගල ආදි ජලාශවල වාන් දොරටු තවමත් විවෘත කර පවතී.

මේ අතර මහවැලි ගඟ පිටාර ගැලීම නිසා දින ගණනාවක් වසා තිබුණු කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගය සැහැල්ලු රථ වාහන ධාවනය සඳහා මේ වනවිට විවෘත කර තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් හාලිඇළ උඩුවර ප්‍රදේශයට වැටී ඇත් පස් හා ගල් ඉවත්කිරීම මේවනවිටත් සිදුවන අතර දුම්රිය බලධාරීන් පවසන්නේ බදුල්ල සහ ඇල්ල අතර දුම්රිය ධාවනයට තව දින කිහිපයක් ගතවන බවය.

මේ අතර කලා ඔය, මල්වතු ඔය, හැඩ ඔය, දැදුරු ඔය, මහවැලි ගඟ සහ මුන්දෙනි ආරු ද්‍රෝණි සඳහා නිකුත් කර ඇති ගංවතුර අවදානම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 72ක් සදහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නායයෑමේ පිළිබදව පුර්ව අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වේ.

අද පස්වරු 04 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති එම නිවේදනයෙන් මහනුවර, බදුල්ල, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 43ක් සඳහා අදියර 2 යටතේ වන පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසීය.