හිස්බුල්ලා ඩ්‍රෝන් බළකායේ ප්‍රධානියා සොයා ආ මාරකය 

හිස්බුල්ලා ඩ්‍රෝන් බළකායේ ප්‍රධානියා සොයා ආ මාරකය 

September 27, 2024   11:50 am

ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත සම්පූර්ණ බලය යොදා පහරදෙන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය ආරක්ෂක හමුදා වෙත දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර අමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශ්ව දිගින් දිගටම ඉල්ලීම් කර ඇත්තේ සටන් විරාමයක් සඳහා සලකා බලන ලෙසයි.

ඊයේ (26) සිදුකළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 92ක් මියගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

මියගිය පිරිස අතර හිස්බුල්ලා ඩ්‍රෝන් බළකායේ ප්‍රධානියා වන මොහොමඩ් සුරූර් ද වූ බව වාර්තා විය.

දකුණු බේරූට් නුවර නිවාස සංකීර්ණයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව හිස්බුල්ලා සංවිධානය තහවුරු කළේය.

ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම පසුගිය සඳුදා සිට වේගවත් කළේය.

ඉන් මේ දක්වා 700කට අධික පිරිසක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.