ලොව වේගවත්ම T20 ශතකය වාර්තා කෙරෙයි

ලොව වේගවත්ම T20 ශතකය වාර්තා කෙරෙයි

June 18, 2024   03:54 pm

එස්ටෝනියා කණ්ඩායමේ සාහිල් චව්හාන් ලොව වේගවත්ම T20 ශතකය රැස්කළ ක්‍රීඩකයා බවට පත්විය.

ඒ සයිප්‍රස් කණ්ඩායමට එරෙහිව පන්දු 27කදී සිය ශතකය වාර්තා කරමිනි.

මීට පෙර ලොව වේගවත්ම T20 ශතකය වාර්තා කර සිටියේ නැමීබියාවේ Jan-Nicol Loftie Eaton ය. ඔහු පන්දු 33කින් සිය ශතකය වාර්තා කළේය. ඔහුගේ ලෝක වාර්තාව පැවතියේ මාස 4ක් පමණි.

සයිප්‍රස් කණ්ඩායම සහ එස්ටෝනියාව අතර මෙම 20යි 20 තරගය ඊයේ (17) පැවැත්වුණේ සයිප්‍රසයේ Episkopi හීදීය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සයිප්‍රස් කණ්ඩායම පන්දු ඕවර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 191ක් රැස් කළේය.

සයිප්‍රසය වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනෙක් ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.

බුද්ධික මහේෂ්, මංගල ගුණසේකර, චමල් සඳුන්, අකිල කලුගල සහ සචිත්‍ර පතිරණ එම ක්‍රීඩකයින් වෙයි.

ඊට පිළිතුරු ලෙස එස්ටෝනියා කණ්ඩායම පන්දු ඕවර 13කදී කඩුලු 4ක් දැවී ලකුණු 194ක් ලබාගනිමින් තරගය පහසුවෙන් ජයගත්තේය.

එහිදී චව්හාන් පන්දු 41කදී නොදැවී ලකුණු 144යි.

ඊට 4 පහර 6ක් සහ 6 පහර 18ක් ඇතුළත් විය.

එම 6 පහර සංඛ්‍යාව ද 20යි 20 පිටියේ ලෝක වාර්තාවකි.

වීඩියෝව මෙතැනින්