අපේ පියුමිට ලැබුණු සුවිශේෂී අවස්ථාව 

අපේ පියුමිට ලැබුණු සුවිශේෂී අවස්ථාව 

April 18, 2024   11:53 am

අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා සිදුකරන පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් ද තේරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

නාසා ආයතනය මගින් හූස්ටන් හි පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති අඟහරු ග්‍රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක අදාළ මෙහෙයුම සිදුකෙරෙයි.

එම මෙහෙයුමේ කාර්ය මණ්ඩලය සඳහා සිව් දෙනෙක් තෝරාගෙන තිබේ.

ඔවුන් වන්නේ ජේසන් ලී, ස්ටෙෆනි නවර්රෝ, ෂරීෆ් අල් රෝමයිති සහ පියුමි විජේසේකර නම් ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකි.
      
ඔවුන් නාසා ආයතනයේ "Human Exploration Research Analog" ලෙස නම්කර ඇති මෙහෙයුම් කලාපයට මැයි 10 වනදා ඇතුළු වීමට නියමිතය. එතැන් සිට දින 45ක කාලයක් ඔවුන් ගගනගාමීන් ලෙස කටයුතු කරන බව නාසා ආයතනය නිවේදනය කළේය.

නාසා ආයතනය මගින් සඳ, අඟහරු සහ අනෙකුත් අභ්‍යවකාශ කලාප වෙත ගගනගාමීන් යැවීමට පෙර ඔවුන් ට අවශ්‍ය පෙර පුහුණුව ලබාදීමට ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති මෙම මෙහෙයුම් කලාපය භාවිත කරයි.

එමගින් ගගනගාමීන් ගේ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබාගැනීමට විද්‍යාඥයින්ට ද අවස්ථාව ලැබෙයි.
 
මෙම හුරුව සඳහා මේ වසරේ තෝරාගත් දෙවැනි කණ්ඩායම මෙය වෙයි.

මෙම කණ්ඩායම සඳහා තෝරාගෙන ඇති පියුමි විජේසේකර, කැලිෆෝනියාවේ "NASA Ames" පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පර්යේෂණ විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරන්නීය.