රාජගිරියෙත් සුදුකරන තැනක් උකුස්සාට කොටුවෙයි

රාජගිරියෙත් සුදුකරන තැනක් උකුස්සාට කොටුවෙයි

June 4, 2023   07:14 pm

පිළිකා රෝගීන්ට භාවිත කරන එන්නත් සම පැහැපත් කිරීම සඳහා තහනම් අයුරින් යොදාගන්නා තවත් රූපලාවන්‍යාගාරයක් නීතියේ රැහැනට හසුකරදීමට "අද දෙරණ උකුස්සා"ට හැකිවයි.

උකුස්සාගේ අද හෙළිදරව්ව සිනමා නිළියන් සහ සමාජයේ ප්‍රභූ පුද්ගලයන් ඉලක්ක කර පවත්වාගෙන ගිය එම රූපලාවන්‍යාගාරය ගැනය.

පිළිකා රෝගීන්ගේ අතුරු ආබාධ සමනය කිරීම සඳහා ලබාදෙන''ග්ලූටාතියන්'' නැමැති එන්නත් සම පැහැපත්කිරීමට භාවිත කරමින් සිදුකළ ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සා පසුගිය සතියේත් රට හමුවේ අනාවරණ කළේය.

එවැනිම තවත් සුඛෝපභෝගී රූපලාවන්‍යාගාරයක් පිළිබඳව උකුස්සාට තොරතුරු අනාවරණ වුණේ රාජගිරිය ප්‍රදේශයෙනි.

එහි හිමිකරු සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා ප්‍රබල ලෙස එය ප්‍රචාරය කර තිබූ අයුරුද දැකගත හැකි විය.

ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් සමග එක්ව ඔහුව නීතියේ රැහැනට හසුකරදීම සඳහා උකුස්සා සූක්ෂ්ම ලෙස අදාළ පුද්ගලයාට දුරකතනය ඔස්සේ සම්බන්ධකර ගත්තේය.

අනතුරුව අප ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් හා පොලිසිය සමග එක්ව අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට ගියේය.

එම අවස්ථාවේදී එහි හිමිකරුට ලබාගත් දුරකතන ඇමතුමේදී තහවුරු වුනේ මෙම ස්ථානයට අදාළ එන්නත් ආනයනය කර ඇති බවය.

ඒ අනුව එහි කාර්යාල කාමරය පරීක්ෂා කළ අතර එහි තිබී පිළිකා රෝගීන්ගේ අතුරු ආබාධ සමනය කිරීම සඳහා ලබාදෙන''ග්ලූටාතියන්'' ඇතුළත් එන්නත් තොගයක් සොයාගනු ලැබීය.
 
අනතුරුව එහි තවත් කාමර කිහිපයක තිබූ තවත් එන්නත් තොගයක් සොයාගත්තේය.

මෙහි සේවිකාවන් පැවසුවේ, තවත් ස්ථාන රැසක මෙම නීති විරෝධී ක්‍රියාව ජයටම සිදුකරන බවය.

මෙම ස්ථානයේ තිබී විවිධ සන්නාම යටතේ ඇති ''ග්ලූටාතියන්' අඩංගු එන්නත් වර්ග 15ක් පමණ සොයාගත් අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 5ට ආසන්නය.

ඉදිරියේදීත් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ "උකුස්සා" සීරුවෙන් සිටියි.