අප්‍රේල් වැටුප ගෙවන්නේ මෙහෙමයි

අප්‍රේල් වැටුප ගෙවන්නේ මෙහෙමයි

April 2, 2023   12:47 pm

ආණ්ඩුවේ මුදල් ප්‍රවාහයට බරක් වුවද අප්‍රේල් මස 10 වනදාට පෙර රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මෙම වසරේ අවසන් කාර්තුව වන විට රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කරන බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

"රාජ්‍ය සේවකයින් ගැන රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයා හා රජය විශේෂ අනුග්‍රහයක් දක්වමින් තමයි කටයුතු කරන්නේ. දැන් මෙවැනි තත්ත්වයකදී බොහෝ රටවල එන පළවෙනි යෝජනාව තමයි රාජ්‍ය සේවක වැටුප් කප්පාදුව කියන එක. ඉතින් අපේ රටේ එවැන්නක් හිතුවෙවත් නැහැ. මොකද අපි දන්නවා රාජ්‍ය සේවකයාත් අමාරුවෙන් ඉන්නෙ. මේ උද්ධමන පොලී වැඩිවීමත් එක්ක."

"අප්‍රේල් මාසය වෙනකොට අපිට අපේ මුදල් ප්‍රවාහවලට ලොකු බරක් එනවා. සාමාන්‍යයෙන් මාසේ 25 රාජ්‍ය සේවකයාට ගෙවන වැටුප අපි මේ මාසේ ගෙවන්න ඕනේ.. අප්‍රේල් 10 වනදාට පෙර. එය මුදල් ප්‍රවාහයට ලොකු බරක්. විශ්‍රාම වැටුප සහ සමෘද්ධියත් 10 වනදාට පෙර දිය යුතුයි. ජනපති දැනුම් දුන්නා එය ගෙවිය යුතු බව. මූල්‍ය උපක්‍රම භාවිත කරලා ගෙවීම් කරනවා." 

"එය රාජ්‍ය සේවකයා ගැන දක්වන සුවිශේෂිතාවයක්. ජනපති පසුගිය අයවැය ලේඛනයේ ප්‍රකාශ කළා... වසර අවසාන වනවිට රාජ්‍ය සේවකයාට වි‍ශේෂ ලබාදිය හැකි දීමනාවන් ලබාදෙනවා කියලා."