මසකට මිලියන 100 ක් බදුගෙවන ශ්‍රී ලංකන් ගුවන් යානයේ කෑලි කඩා හැලෙන හැටි

මසකට මිලියන 100 ක් බදුගෙවන ශ්‍රී ලංකන් ගුවන් යානයේ කෑලි කඩා හැලෙන හැටි

July 23, 2019   07:31 pm

ශ්‍රී ලංකන් ගුවන් සේවය 2013 වසරේදී ඇණවුම් කළ එයාර් බස් A350 යානා 4 ක් අවලංගු කරන්නේ 2016 ඔක්තෝබර් මාසයේදීයි.

එහි ප්‍රතිඵලයක් ලෙස වසර 10 ක් පැරණි එයාර් බස් A330-200 වර්ගයේ ගුවන් යානයක් බදු පදනම යටතේ ලබාගැනීමට ශ්‍රී ලංකන් ගුවන්සේවයට සිදුවෙයි.

පසුගිය වසරේදී ඔක්තෝබර් මසදී කොළඹට ගෙන ආ එම යානය කටුනායක ගුවන් තොටුපළට සීමාවූයේ එය ව්‍යාපාරික ගුවන් ගමන්වලට නුසුදුසු වීම හේතුවෙන්.

ශ්‍රී ලංකන් ගුවන්සේවය සතු A330-200 වර්ගයේ ගුවන්යානා සැසදිමේදී  A330-200 4R-ALS යානය සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව පවතින්නේ ඉතාම අවම මට්ටමකයි.

සාමාන්‍ය යානා මසකට ගුවන් ගමන් පැය 400 ක් ආවරණය කරද්දී මෙම යානය ගුවන් පැය 60කට සීමා වෙයි.

යානයේ පවතින දුර්වල තත්ත්වයට අද දෙරණ උකුස්සා තබන කදිම උදාහරණයක් මේ.

පසුගියදා මාලේ බලා පියාසර කරන A330-200 ගුවන් යානයේ ඇතුළත කොටස් මෙලෙස කඩා වැටෙන්නේ මගීන් දැඩි අපහසුතාවට පත්කරමින්.

යානයේ ආසන සහ ආහාර පාන රැදිවීමේ කොටස් මෙලෙස කඩාවැටීමට ලක්වෙයි.

විදේශිකයින් මෙහිදී අදහස් දැක්වුයේ මෙලෙසිනි.

“අපි ඇත්තටම සතුටු නැහැ. ගුවන්යානයේ තත්ත්වය සම්බන්ධයෙන්. ගුවන්යානයේ තත්ත්වය ඉතාම නරකයි. ඒක හරිම අවුලක්. ඒ වගේම තමයි ආසන හරියාකාරයෙන් සකසා ගැනීමට බැහැ.“

මේ වන විට සුදු අලියෙකු බවට පත්ව ඇති A330-200 ගුවන් යානය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුකළ පාඩුව අතිමහත්.

එපමණක් නොව ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාත්‍යන්තර තුළ ගොඩනගා ගත් කීර්ති නාමයට ද එමගින් දැඩිව හානි සිදුව තිබේ.

අදාළ තීරණ ගැනීම සඳහා මැදිහත්  වූ ප්‍රධානීන් මේ පාඩුවට වගකියන්නේ ද?

නැතිනම් ඔවුන් තනතුරුවලට පත්කළ දේශපාලන අධිකාරිය මේ විනාශයට වග කියන්නේ ද? 

මේ පිළිබද උකුස්සා අවධානයෙන්.