ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තුවේ

ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තුවේ

July 21, 2019   12:45 pm

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මස පළමු සති දෙක තුළ නිකුත් කිරීමට නියමිතව තිබේ.

එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු අද දෙරණට සදහන් කළේ අදාළ වාර්තාව නිකුත් කිරීමේ නිශ්චිත දිනයක් මේ වන තෙක් තීරණය කර නොමැති බවයි.

කෙසේවෙතත් අගෝස්තු මස මුල් සති දෙක තුළ එම වාර්තාව නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් පවතින බව ඔහු සදහන් කළේය.

මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද විශේෂ කාරක සභාවේ  අවසන් වාර්තාව නිකුත් කරන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කරන බවයි එම ප්‍රකාශකයා පැවසුවේ.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ විශේෂ කාරක සභාව එළඹෙන 24 වැනිදා යළි රැස්වීමට නියමිතව තිබේ.

 පෙරවරු 10.30ට විශේෂ කාරක සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තබුණි.

එදින විශේෂ කාරක සභාවේ සාක්ෂි ලබාදීම සදහා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ යන නිලධාරීන් කැදවා තිබේ.

මෙහිදි ඇතැම් පුද්ගලයින්ගේ සාක්ෂි විමසීමේ කටයුතු මාධ්‍යයට විවෘත නොකිරීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.