මරණ දඩුවම නියම වු නාවික සෙබළා ගැන යළි සලකා බලන්නැයි ජාත්‍යන්තර අධිකරණයෙන් නියෝගයක්
සයුරෙන් එතෙර

මරණ දඩුවම නියම වු නාවික සෙබළා ගැන යළි සලකා බලන්නැයි ජාත්‍යන්තර අධිකරණයෙන් නියෝගයක්

July 18, 2019   10:04 am

පාකිස්තානයේදී මරණ දඩුවමට ලක්ව සිටින ඉන්දීය නාවික නිලධාරියෙක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය තීන්දුවක් ලබාදී තිබේ.

එය සිය රාජ්‍යය ලැබූ ජයග්‍රහණයක් බව ඉන්දියාව පවසයි.

පාකිස්තානයේ සිරගතව සිටින ඉන්දියානු නාවික හමුදා නිලධාරියෙක්ට පනවා ඇති මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසින් ජාත්‍යන්තර අධිකරණය, පාකිස්තානයට නියෝග කර තිබේ.

අත්අඩංගුවේ පසුවන නාවික නිලධාරී කුල්භූෂණ් යාදේව් හමුවීම සදහා ඉන්දියානු නිලධාරීන්ට අවස්ථාව ලබා නොදීමෙන් පාකිස්තානය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බව එම අධිකරණය වැඩිදුරටත් පවසයි.

අධිකරණය මගින් ඡන්ද 15ට එකක් වශයෙන් පාකිස්තාන තීන්දුව වැරදි බවට තීන්දු කළ අතර ඒ මඟින් වියානා සම්මුතිය කඩකර ඇති බවද හඳුනා ගැණුනි.

යාදේව් 2016 වසරේ දිනෙක පාකිස්තානයේදී අත්අඩංගුවට පත්වූයේ ඔත්තු බැලීමේ චෝදනාව යටතේයි.

ඉන් වසරකට පසුව ඔහු හමුදා අධිකරණයක් වෙත යොමුකෙරුණු අතර එහිදී ඔහුට මරණ දඩුවම නියම කෙරුණි.

මේ තීන්දුව අසාධාරණ බව පවසමින් ඒ සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස යාදේව් වෙනුවෙන් පෙනී සිටි ඉන්දීය රජය, ජාත්‍යන්තර අධිකරණය හමුවට ගියේ ඉන් පසුවයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර අධිකරණ තීන්දුව සිය රට ලබාගත් ජයග්‍රහණයක් බව පවසමින් ඉන්දියාව පුරා ප්‍රීතිඝෝෂා පැවැත්වුණු ආකාරය විදෙස් පුවත් වාර්තා කළේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් සත්‍ය හා යුක්තිය සවිබල ගැන්වුණු බවට සදහන් කර තිබුණි.

මේ අතර ජාත්‍යන්තර අධිකරණය ලබාදුන් තීන්දුව සිය රජය ලැබු ජයග්‍රහණයක් බව ප්‍රාකාශයක් නිකුත් කළ පාකිස්තාන විදෙස් අමාත්‍යවරයා සඳහන් කළේය.

යාදේව් තවදුරටත් පාකිස්තානයේ රඳවාගෙන එරට නීතිවලට අනුව යමින් ඔහු සම්බන්ධ තීන්දු ලබාදීමට එම අධිකරණය  මඟින් තීන්දු ලබාදී ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක ජාත්‍යන්තර අධිකරණයට එහි සාමාජික රටවල නීති කටයුතු සම්බන්ධයෙන් නියෝග පැනවීමේ හැකියාව පැවැතියත්, ඒවා බලාත්මක කිරීමේ අධිකාරියක් ඔවුන් සතුව නැහැ.