එජාපෙ ජනපති අපේක්ෂකයා ගැන කිසිදු මත ගැටුමක් නෑ-හැරිසන්

එජාපෙ ජනපති අපේක්ෂකයා ගැන කිසිදු මත ගැටුමක් නෑ-හැරිසන්

July 18, 2019   09:48 am

එක්සත් ජාතික පක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු ගැටුමක් නොමැති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

අනුරාධපුරදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ පිළිබඳව අඳහස් පල කළේය.

ජනපති අපේක්ෂකයා පිළිබඳ මත ගැටුමක් ඇතිව නැති බවත්, එක් එක් අය විවිධ අදහස් දරමින් සිටින බවත් පැවසු අමාත්‍යවරයා,මේ සඳහා තවත් මාස 5 ක පමණ කාලයක් ඇති බව ද කියා සිටියේය.

එනිසා මේ වන විටම ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණය ගැසට් කල යුතු බවත්, එසේ කිරීමෙන් පසුව අපේක්ෂකයා කවුරුන්ද යන්න පැවසිය හැකි බවත් හැරිසන් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ දී එක්සත් ජාතික පක්ෂය පමණක් නොව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම් සමඟ මෙන්ම උදව් කරන අනෙක් සෙසු පක්ෂ සමඟ එක්ව පොදු තීන්දුවක් ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

අපේක්ෂකයා ඉදිරිපත් කරන තෙක් විවිධ කථා ඇති බව බවත් සඳහන් කළ හැරිසන් මහතා, තිරිඟු පිටි මිල වැඩි වීම ගැන ද අදහස් පල කළේය.

ජාත්‍යන්තර වෙළඳ පොළේ මිල ගණනන් අනුව මෙරට තිරිඟු පිටි මිල වෙනස් වන බව ද සඳහන් කර සිටි අමාත්‍යවරයා, ජාත්‍යන්තරයෙන් පිටි මිල ඉහළ දැමීමට ඉල්ලීම් කර ඇති බව ද පැවසීය.