තුර්කි රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ට ඉරාකයේදී වෙඩි ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

තුර්කි රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ට ඉරාකයේදී වෙඩි ප්‍රහාරයක්

July 18, 2019   09:32 am

ඉරාකයේ ස්වයං පාලන ප්‍රදේශයක් වූ කුර්දිස්තානයේ අර්බිල් අගනුවරදී තුර්කි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වෙඩිතබා ඝාතනය කර තිබේ.

වෙඩි තැබීමෙන් මියගොස් තිබෙන්නේ ඉරාක කුර්දිස්තානයේ තුර්කි සහකාර කොන්සල්වරයායි.

අවන්හලක් තුළ දිවා ආහාරය ලබාගනිමින් සිටින අතරතුරදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරුවී තිබුණි.

වෙඩිතැබීමෙන් අවන්හලේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙක්ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන්ගෙන් අයෙක් තුර්කි කොන්සල් කාර්යාලයේ සේවකයෙකු බව විදෙස් වාර්තාවල සඳහන්ය.

අනෙක් පුද්ගලයා සිවිල් වැසියෙකු බවද එම වාර්තාවල දැක්වෙයි.

කෙසේ නමුත් ප්‍රහාරයේ වගකීම මෙතෙක්  කිසිවෙකුත් භාරගෙන නොමැති බව වාර්තා වෙයි.

මේ අතර තුර්කි ජනාධිපති රෙසෙප් එර්දොවාන් මෙම ප්‍රහාරය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම  ප්‍රහාරකයන් හඳුනාගැනීම සඳහා කුර්දි බලධාරීන් සමග එක්ව විමර්ශණ සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.