ඕනෑම තැනක නහින කාලේට නොයෙක් දේ කියැවෙනවා-චමල්

ඕනෑම තැනක නහින කාලේට නොයෙක් දේ කියැවෙනවා-චමල්

July 18, 2019   09:30 am

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව කුමන මත පලවුවද ආගෝස්තු මස 11 වැනිදා නිවැරදි තීරණය දැනුම්දෙනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.

බදුල්ල  ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

පොදුජන පෙරමුණ නව පක්ෂයක් ලෙස නිර්මාණය කර, සියලු මහනගර සභා, ප්‍රාදේශීය සභා විශිෂ්ඨ ජයක් ලැබූ බවත්, දැන් ඉතිරිව ඇත්තේ පක්ෂයේ සභාපතිවරයා තෝරා ගැනීම බව ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා ඉදිරිපත් කිරීම ද මේ  වන විට පක්ෂයට කිරීමට ඇති කාර්යක් බවත් එය අගෝස්තු මාසයේ 11 වන දින පක්ෂයේ නව සභාපතිවරයෙක් ඉදිරියේ සිදු කරනු ලබන බව ද චමල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

මෙය අගෝස්තු මස 11 වන දින ප්‍රසිද්ධියට පත් කරන තෙක් ගෝඨාභය රාජපක්ෂ ද එසේත් නැතිනම් තමා ද ජනාධිපති අපේක්ෂකයා බව පැවසිය නොහැකි බව ද මන්ත්‍රීවරයා මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

චමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා විය හැකි යැයි ජනතාව බලාපොරොත්තු වෙන් සිටින බවට මාධ්‍යවේදීන් ඇසු පැනයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, “ඒක කොච්චර හොඳ ද?“ යනුවෙනි.

තම පක්ෂයේ සිටින සියලු කාන්තාවන් ආර්යයාවන් බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා, ලංකාවේ සියලු කාන්තාවන් එවැනි අය බව ද පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයෙක් භික්ෂුන් වහන්සේලාට අපහාස කිරිම ගැන මාධ්‍යවේදීන් ඇසු පැනයට පිළිතුරු දෙමින් චමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, ඕනෑම තැනක නහින කාලයට නොයෙක් දේ කියැවෙන බවත් ජනතාව එය තේරුම් ගත යුතු බවත්ය.