මාදම්පේ අරාබි ජාතික විදුහලේ භාරකරුගේ ලැප් ටොප් පරිඝණකයේ සහරාන් දේශන හමු වෙයි

මාදම්පේ අරාබි ජාතික විදුහලේ භාරකරුගේ ලැප් ටොප් පරිඝණකයේ සහරාන් දේශන හමු වෙයි

May 25, 2019   07:21 pm

දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක යුද හමුදාව සිදකළ සෝදිසි කිරීම්වලදී පුත්තලම මාදම්පේ අරාබි ජාතික විදුහලේ භාරකරු අත්අඩංගුවට ගැනුණේය.

ඒ සහරාන් හෂීම්ගේ දේශන ඔහුගේ ලැප් ටොප් පරිඝණකයේ තිබීම හේතුවෙන්.

යුද හමුදාව ගෙයින් ගෙට ගොස් සිදුකරන සෝදිසි කිරීම් අද (25) දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක සිදු කළේය.

යුද හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රොෂාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මෙම සෝදිසි කිරීම් සිදුකෙරුණු බවයි. 

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ අවිස්සාවේල්ල පුවක්පිටිය, තල්දූව සහ කොස්ගම යන ප්‍රදේශවල සියලුම නිවාස, වෙළදසැල් හා ගබඩා අද විශේෂ පරීක්ෂාවකට ලක්කෙරුණි.

එසේම මත්තෙගොඩ , මාකුඹුර හා කහතුඩුව යන ප්‍රදේශවලත් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී යුදහමුදා නිලඇදුමට සමාන ඇදුමක් සහ යුද හමුදාව භාවිත කරන හිස්වැසුමකට සමාන හිස් වැසුමක් හමුවී තිබේ.

එසේම එම ප්‍රදේශවල මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනද අද විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණී.

මේ අතර බත්තරමුල්ල කොස්වත්ත පයිප්ප මාර්ගයේ දමා ගොස් තිබී ජීව අත්බෝම්බයක් අද දහවල් පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය නිෂ්ක්‍රීය කිරීම සඳහා රැගෙන ගියේය.

එමෙන්ම , කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරුණු සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයින් 9 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර කඩු 20කට ආසන්න ප්‍රමාණයක්ද එහිදී සොයා ගැණුනි.

පුත්තලම මාදම්පේ පරණ නගරය, මිරිස්වත්ත හා මහවැව නගරයේත් අද සෝදිසි කිරීම් සිදුකෙරුණි.

මේ අතර මාතර නගරයේ බසූතා මාර්ගය හා ඒ අවට සිදුකල විශේෂ සෝදිසි කිරීම්වලදී පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැණුනි.

ඒ යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ලග තබාගැනීම සහ නීතිවිරෝධී සීඩී පට ලග තබා ගැනීම හේතුවෙන්.

බදුරලිය ප්‍රදේශයේ පාසලක අත්බෝම්බයක් තබා යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බදුරලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 32 හැවිරිදි පවිත්‍ර මධුසංක නැමැත්තා වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.‍