දෙරණ සැබෑ කළ රණවිරු සිහිනය

දෙරණ සැබෑ කළ රණවිරු සිහිනය

May 18, 2019   07:27 pm

ත්‍රස්තවාදය පරාජය කොට නිදහස් රටක ජීවත් වීම ශ්‍රී ලාංකික අප සැම මීට දශකයකට පෙර දුටු සිහිනයක්.

අපගේ එම හීනය හැබෑ කිරීම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සේම, පූර්ණ ආබාධිත තත්වයට පත් වූ රණවිරුවන්ද රැසක් සිටියි.

ශ්‍රී ලාංකික අප දුටු එම හීනය හැබෑ කිරීමට කැපවීම් කළ එක් විරුවකුගේ සිහිනයක් හැබෑකර දීමට දෙරණ අප අද කටයුතු කළෙමු.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ කෝප්‍රල් වජිර පුෂ්පකුමාර, 2008 වසරේ විශේෂ කාර්ය බලකා සෙබලෙක් ලෙස රට වෙනුවෙන් එක්වුණු සිව්වන ඊලාම් යුද්ධයේ අවසන් සටන පැවැත්වුණ මූතුර්, පුදුමාතලන්, නන්දිකඩාල් යන ප්‍රදේශවල මානුෂීය මෙහෙයුමට එක්ව ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන්වැදුණු රණ විරුවෙක්.

නමුත් 2009 අප්‍රේල් මස මානුෂීය මෙහෙයුමේ අගභාගයේදී එල් ටී ටී ඊ ස්නයිපර් තුවක්කු කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට කෝප්‍රල් පුෂ්පකුමාර ලක්වන්නේ ජීවිතය පිළිබඳ අපේක්ෂාවන් සුනුවිසුනු කරමිනි.

මරණයෙන් දිවි ගලවා ගත්තද කොප්‍රල් පුෂ්පකුමාර පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටියි.

මාධ්‍යෙව්දියෙක් වීම කෝප්‍රල් වජිර පුෂ්පකුමාරගේ එක් සිහිනයක්ව තිබුණු දෙයක්.

ආබාධිත තත්වයට පත්වූ කෝප්‍රල් පුෂ්පකුමාර රණවිරුවාගේ ඒ සිහිනය, යුද්ධය නිමා කිරීමේ සැමරුම යෙදෙන අද දින හැබෑ කරදීමට දෙරණ මාධ්‍ය ජාලය කටයුතු කළෙමු.

දෙරණ නාලිකාව ඔස්සේ චතුර අල්විස් මෙහෙයවන දෙරණ අරුණ වැඩසටහන මෙහෙයවීමට අවස්ථාව ලබා දෙමින් අද ඔහුගේ සිහිනයට ඉඩ හසර ලබාදෙන්න අපි කටයුතු කළෙමු.