මම මැදිහත් වෙලා සිදුවෙන්න ගිය විශාල භීෂණයක් සමතයකට පත් කළා-දයාසිරි කියයි

මම මැදිහත් වෙලා සිදුවෙන්න ගිය විශාල භීෂණයක් සමතයකට පත් කළා-දයාසිරි කියයි

May 18, 2019   07:21 pm

කුලියාපිටියේ පසුගියදා ඇතිවු කලහකාරි සිද්ධිය අවස්ථාවේ ඊට මැදිහත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් පොලීසිය අද (18) ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවේය.

ඉකුත් මැයි 13 වැනිදා කුලියාපිටියේ ඇතිවු සිද්ධියක් සම්බන්ධයෙන් හෙට්ටිපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පිරිසක් සිය ජීප්රියේ නංවාගෙන බිංගිරිය පොලිස් ස්ථානය වෙත ගෙනයාමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මැදිහත්වුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට මන්ත්‍රීවරයා අද උදෑසන කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියේය.

මන්ත්‍රීවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශය සටහන් කර ගැනුණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටියේ තමන් මැදිහත් වී විශාල භීෂණයක් නතර කළ බවයි.

සිද්ධිය පිළිබඳව සම්පූර්ණ විස්තරය තමන් ඉදිරිපත් කළ බවත් එදින ඔවුන් මුදා නොගත්තේනම් පොලීසියට ජනතාව ප්‍රහාර එල්ල කරන බවත් එහිදී සිදුවීමට ගිය විශාල අර්බුධයක් තමන් සමතයකට පත්කළ බවත් ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

සිද්ධිය සමනය කිරීමට පමණක් තමන් මැදිහත්වු බවත් 
අත්අඩංගුවේ සිටි අය පිරිස් නිදහස් කිරීමට තමන් කටයුතු නොකළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පොලිස් ස්ථානාධිපතිගේ ඉල්ලීම මත තමන් ඒ පිරිස රැගෙන ගොස් බිංගිරිය පොලීසියට බාර දුන් බවත් තමන් එම ස්ථානයට පැමිණෙන විටත් එම පිරිසට ඇප ලබා දීමට තීරණය කර තිබු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ආණ්ඩු පක්ෂයෙන් පිරිස් ගැටුම්වලින් පසු ආධාර දෙන බව ප්‍රකාශ කරන බවත් තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා සිදු වූ දේ හොඳින් දුටු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එසේම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කිසිදු බුද්ධියකින් තොරව ක්‍රියා කරන බවත් මෙම සිද්ධියට තමන් සම්බන්ධයැයි ප්‍රකාශ කිරීම පිළිබඳ ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.