සිරි ලක පුරා සම්බුදු තෙමඟුල බැතියෙන් සැමරෙයි

සිරි ලක පුරා සම්බුදු තෙමඟුල බැතියෙන් සැමරෙයි

May 18, 2019   06:56 pm

බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය අදට යෙදී ඇත.

උද්ගතව පැවති වාතාවරණය හේතුවෙන් විහාරස්ථානවලට ආරක්ෂාවද සලසා තිබූ අතර බොහෝ විහාරස්ථානවලට සැදැහැවතුන් සුපුරුදු පරිදි එක් රැස්ව සිටියේය.

දුක, දුකට හේතුව, දුක නැතිකිරීම සහ දුක නැතිකිරීමේ මාර්ගය ස්වකීය ඥාන ශක්තියෙන්ම අවබෝධ කරගනිමින්, ලෝක සත්ත්වයාට සසරින් එතෙරවීමේ ගමන් මග දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරොත්පත්තිය, බුදුවීම සහ පිරිනිවීම යන තෙමගුල සිදුවූයේ අද වන වෙසක් පුන් පොහෝ දිනකයි.

එය නිමිති කරගනිමින් ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව අද ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන්ට එක්ව සිටියේය.

අද පොහෝ දිනයේ විහාරස්ථාන අසල ආරක්ෂාව තර කර ඇති අයුරුද දක්නට ලැබුණි.

ආරක්ෂක විධිවිධාන මධ්‍යෙය් වුව ද බොහෝ විහාරස්ථානවල සීල සමාදාන වැඩසටහන්වලට සැදැහැවතුන් එක්රොක්ව සිටියේය.

මේ අතර සෑම නගරයකම පාහේ වීථි බෞද්ධ ධජ, වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි වලින් අලංකාරවත්ව තිබුණි.

බෞද්ධයින් මෙන්ම ඉස්ලාම්, කිතුණු සහ හින්දු බැතිමතුන් ද මෙවර වෙසක් පොහොය වෙනුවෙන් සැරසිලි කිරීමට එක්ව සිටියේය.

මේ අතර වෙසක් පුන් පොහොය නිමිති කරගනිමින් මහනුවර දංගොල්ල විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ දංගොල්ල මුස්ලිම් දේවස්ථානයේ විශේෂ ධර්ම දේශනා වැඩසටහනක් පැවැත්වීමද විශේෂත්වයකි.

පසුගිය වසර වල ප්‍රධාන නගරවල දක්නට ලැබුණු තොරණ, පහන් කූඩු සහ දන්සල් අද දිනයේදී එතරම් බහුලව දක්නට ලැබුණේ නැත.

 ඒ අතර වෙසක් පුන් පොහොය නිමිති කරගනිමින් දෙරණ මාධ්‍ය ජාලය මෙවරත් ගෙන එන දෙරණාභිවන්දනා ශ්‍රී කල්‍යාණි වෙසක් වැඩසටහන කැළණිය රජමහා විහාරස්ථානයේ අද දවස පුරා පැවැත්වුණි.

අද අලුයම 5ට සෙත් පිරිත් දේශනාවෙන් වැඩසටහන ඇරඹි අතර සීල වැඩසටහන ආරම්භ වූයේ ඉන් අනතුරුවය.

ධර්මදේශනාව සඳහා පූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අද දින වැඩමකර සිටියේය.

අනතුරුව කැලණිය විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ සහ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ සහභාගිත්වයෙන් ධර්ම සාකච්ඡාවක්ද පැවැත්වුණි.

අධිෂ්ඨාන පහන් පූජාව පැවැත්වුණේ අද පස්වරුවේයි.