හතුරුසිංහ නැවතත් පරාජයට හේතු කියයි

හතුරුසිංහ නැවතත් පරාජයට හේතු කියයි

February 12, 2019   07:22 pm

ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය සමයේ බාහිර පර්ශව වෙතින් එල්ල වු පීඩනය කණ්ඩායමේ දක්ෂතාවලට බලපෑම් සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.

ක්‍රික් ඉන් ෆෝ වෙබ් අඩවිය සමඟින් සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම තත්ත්වයන් හේතුවෙන් ක්‍රීඩකයින් ද දැඩි අපහසුතාවයකට පත් වු බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට තරග ජයග්‍රාහණය නොකිරීම සම්බන්ධයෙන් ක්‍රික් ඉන් ෆෝ වෙබ් අඩවිය යොමු කළ ගැටලුවට පිළිතුරු දෙමින් චන්දික හතුරුසිංහ සඳහන් කළේ  ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශයේ ඇතැම් දුර්වලතා එම පරාජයන්ට හේතුවක් වු බවයි. 

එමෙන්ම ක්‍රීඩකයින්ට ඇති වු ආබාධ සහ අකිල ධනංජයගේ තහනම ඇතුළු තවත් කරුණු රැසක් එම පරාජයන්ට හේතු වු බවද හතුරුසිංහ එහිදී සඳහන් කර තිබුණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග පවා දීම පිළිබඳ පරීක්ෂණ, තේරිම් කමිටුවේ වෙනස්වීම, කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම සහ පුහුණුකාර්ය මණ්ඩලයේ වෙනස් කිරීම් කණ්ඩායම තුළ අවිනිශ්චිතභාවයක් නිර්මාණය කිරීමට හේතු වු බවද ඒ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවන් පසුබිමක ක්‍රීඩකයින්ට නිසි මඟ පෙන්වීමක් නොලැබුණු අතර එය ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් ඇති කළ බවයි.

තරගාවලිය අතරතුර කණ්ඩායම් තේරීම්වලින් ඉවත් කිරීම පිළිබඳ නැගූ ගැටලුවට පිළිතුරු දුන් චන්දික හතුරුසිංහව සඳහන් කළේ තමාව එලෙස ඉවත් කළ ආකාරය පිළිබඳ තමන් කණගාටු වන බවයි.

අදාල ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් පැහැදිලි හේතුවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වු බවද ඔහු ප්‍රකාශ කර සිටියි.

එමෙන්ම දකුණු අප්‍රිකා තරගාවලියෙන් නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ඉවත් කිරීම පිළිබඳ තමා කලින් දැනුවත්ව නොසිටි බව පවසන හතුරුසිංහ දකුණු අප්‍රිකා තරගාවලිය වැනි තරගාවලි වලදී අත්දැකීම් සහිත ක්‍රීඩකයින් සිටීම අවශ්‍ය බව එහිදී පෙන්වා දී තිබුණි