ඇමතුමකින් ජනතාව රැවටු ඡාවාරමක්

ඇමතුමකින් ජනතාව රැවටු ඡාවාරමක්

November 20, 2018   07:06 pm

ත්‍යාග ලබා දෙන බව පවසමින් කෙටි පනිවිඩ සහ ඇමතුම් මඟින් දුරකතන ග්‍රාහකයන් රවටා ඔවුන්ගෙන් මුදල් ගැරීමේ ජාවාරමක් පසුගියදා නීතියේ රැහැනට හසුකර ගැනුණි.

අද උකුස්සාගේ අනාවරණය ඒ පිළිබඳවයි.

මෙරට ජංගම දුරකතන ග්‍රාහකයන් හට පසුගිය දිනවල අනපේක්ෂිත එස්.එම්.එස් පනිඩිඩ , ඊමේල් පනිවිඩ සහ ෆේස්බුක් පණිවිඩ ලැබී තිබුණි.

ඒ සුඛෝපභෝගී මෝටර් රථ සමාගමක සංවත්සරයක සිදු කළ දිනුම් ඇදීමකින් වටිනා ත්‍යාග රැසක් ඔවුන්ට හිමි වී ඇති බවත් , එම ත්‍යාගය ලබැගැනීමට රුපියල් 93,800 ක මුදලක් පළමුව බැංකු ගිණුමකට බැර කළ යුතු බවත් පවසමින්.

ඒ අනුව ඇතැමුන් එකී මුදල අදාල බැංකු ගිණුමට බැර කර ඇති මුත් ඔවුන්ට එම ඇමතුම දුන් පාර්ශ්ව වෙතින් ඉන් පසු කිසිදු ප්‍රතිචාරයක් හිමි වී නැහැ.

මෙම ජාවාරමට හසු වූ විශාල පිරිසක් ඒ ගැන දැනුම්දීමෙන් අනතුරුව සැකකරුව්න නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා උකුස්සා සමගින් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය එක්ව රහසිගත මෙහෙයුමක් දියත් කළේය.

ඒ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේයි.

එහි පළමු පියවර ලෙස සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් උකුස්සා සමඟින් ගල්කිස්ස ප්‍රදේශයේ සුඛෝපබෝගී නිවසක් වටලනු ලැබීය.

එහිදී කළු ජාතිකයින් තිදෙනෙකු පළමුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙලෙසින්.

පසුව මොවුන් රැඳී සිටි නිවසේ සිදුකළ පරීක්ෂණයේදී මොවුන්ගේ මෙම ජාවාරමට හසු වූ විශාල පිරිසක් මොවුන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති රිසිට්පත් රැසක් සොයා ගනු ලැබීය.

එමෙන්ම මොවුන්ගේ පරිගණක තුළ තිබී ශ්‍රී ලාංකිකයින්ගේ දුරකථන අංක ලක්ෂ ගණක්ද සොයා ගත් පොලිස් නිලධාරීන් මෙහි තිබී මොවුන් විවිධ පුද්ගලයන් මුලාකරමින් යවනු ලබන එස්.එම්.එස්. පණිවුඩ රැසක්ද සොයා ගත්තේය.

මෙහිදී අත්අඩංගුවටගත් කළු ජාතිකයින් උගන්ඩාවේ හා නයිජීරියාවේ සිට මෙරටට පැමිණ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇතිබවද මෙහිදී අනාවරණ විය.

පොලීසිය මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාවාරමට හසුවූ පිරිස් සිටීනම් වහාම වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය හෝ ළඟම ඇති පොලීසියට ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසයි.

ඉදිරියේදීත් මහජනයා මුලාකරන මෙවැනි ජාවාරම් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.