අකිලගෙන් කැමැත්ත අහලා පාන්දරම ආපු දුරකථන ඇමතුම

අකිලගෙන් කැමැත්ත අහලා පාන්දරම ආපු දුරකථන ඇමතුම

November 20, 2018   04:58 pm

පාර්ලිමේන්තුව තුළ බහුතරය හදා ගැනීමට නොහැකි වීම තුළ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පිරිස විවිධ උත්සහයන් ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පවතින දේශපාලන වාතාවරණය පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් ද අද (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පවත්වා ඇති අතර ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබීය.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අද උදෑසන ද මන්ත්‍රීවරයෙක් දුරකථනයෙන් කථා කර කියන ඕනෑම දේකට එකඟ වෙන්නම් ඔවුන්ට ඡන්දය ලබා දීමට කටයුතු කරන ලෙස පැවසූ බවයි.

මෙවැනි තත්ත්වයක් තුළ ඒකාබද්ධයෙන් බොහෝ  පීඩනයක් එල්ල කරමින් සිටින අතර, එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු අද ඉන්න තැනක් හෝ සඳහන් නොකර දුරකථනයන් විසන්ධි කර සිටින බව ද පැවසීය.

මේ අතර ඉදිරි දින කිහිපය පුරා ප්‍රජාතන්ත්‍ර විරෝධීව සිදුව ඇති ක්‍රියාදාමයන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ අනුව එළඹෙන 24 වනදා මහනුවරදී එහි පළමු උද්ඝෝෂණය පැවැත්වෙන අතර, 27 වන දින කළුතර නගරයෙන්, 03 වන දා වෘත්තීයවේදීන්ගේ විරෝධතාවයක් හා 04 වන දින කිරිබත්ගොඩ දී තවත් උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව ද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.