තිලිණපත් ඉවරයි-පැරණි ක්‍රමයට පාසල් නිල ඇඳුම්

තිලිණපත් ඉවරයි-පැරණි ක්‍රමයට පාසල් නිල ඇඳුම්

November 14, 2018   03:10 pm

2019 වර්ෂය සඳහා පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි පැරණි ක්‍රමවේදය අනුව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද(14) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශක වරයා මේ බව කියා සිටියේය.

නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කිරීම වෙනුවෙන් 45 ලක්ෂයක් පමණ වු සියලු දූ දරුවන්ට පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීම 1993 වසරේ සිට මේ දක්වා වසර 25 ක කාලයක් පුරා රජය විසින් සිදු කරනු ලබයි.

ඒ සඳහා මෑතක සිට අනුගමනය කරන ලද “තිලිණපත් ක්‍රමවේදය“ ට සාපේක්ෂව දේශිය රෙදිපිළි නිෂ්පාදකයින්ගෙන් පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගෙන, පෙර සිට පැවති නිෂ්පාදකයින්ගෙන් පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගෙන, පෙර සිට පැවති ආකාරයට නිල ඇඳුම් රෙදි ලබා දීම ආර්ථික වශයෙන් වාසිදායක බව හඳුනාගෙන ඇති බව ද සමරසිංහ මහතා පැවසීය.

එම ක්‍රමවේදය යටතේ එක් රෙදි මීටරයකින් රුපියල් 50 ක පමණ ඉතිරියක් පැවැතීම සහ දේශීය නිෂ්පාදකයින්ගෙන් රෙදි ලබා ගැනීමෙන් විදේශ විනිමය ද ඉතිරි වීම සලකා බලා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.