ගාමිණී සෙනරත්ගේ නඩුව දිනපතා විභාගයට නියෝග කරයි

ගාමිණී සෙනරත්ගේ නඩුව දිනපතා විභාගයට නියෝග කරයි

November 14, 2018   02:34 pm

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව හෙට (15) සිට දිනපතා විභාගයට ගන්නා බවට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කර තිබේ. 

මෙම නඩුව අද (14) සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ. 

ඒ අනුව නඩුවේ 4 වන සාක්ෂිකරු ලෙස නම් කර සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්තිද්‍රස්ස මහතාට හෙට දින සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින මෙන් ද විනිසුරුවරු නොතීසි නිකුත් කළේය. 

2014 වසරේ පෙබරවාරි මස පළවනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.