ජීවිතයත් මරණයත් අතර සටනක සිටින මිනිස්සූ

November 14, 2018   12:59 pm

මාතලේ පල්ලෙපොල රුසිගම කන්ද නාය යෑමේ අවදානමක් හේතුවෙන් කන්ද පහල පදිංචිව සිටින නිවාස 25ක ජනතාවට ඉන් ඉවත්වීම සඳහා රතු නිවේඳන නිකුත් කොට වසර ගණනාවක් ගතව ඇතත් මෙතෙක් එම ජනතාවට ඉවත්වීම සඳහා ස්ථානයක් හෝ සාධාරණ විසඳුමක් නොමැතිකම නිසා දිවා රාත්‍රී කාලයේ ජීවිතයත් මරණයත් අතර සටනක ජීවත්වීමට සිදුව ඇතිබව ගම්වාසීහු පැවසීය.

මාතලේ පල්ලේපොල රුසිගම කන්ද පහල වසර විස්සකට අධික පමණ කාලයක සිට ජීවත්වන මෙම පවුල් 25හිම ජනතාව වර්ෂාව ලැබෙන විට වසර ගණනාවක සිටම ප්‍රදේශයේ පන්සලකට යන බවත් පසුව වර්ෂාව අවසන් වූ විගස තම නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන සිටින බව නිවැසියෝ පැවසීය. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මෙම ස්ථාන වලින් ඉවත් වන ලෙස ජනතාවට දැනුම් දී තිබෙන බව ඔවුහු පැවසීය. 

එහෙත් ස්ථිර නිවාස සාදා ගෙන දරුවන් සමඟ වසර විස්සකට අධික පමණ කාලයක සිට තමන් ජීවත්වන බවත් මෙම නිවාස අතහැර වෙනත් ස්ථානයකට යන්න ද කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම බරපතල ප්‍රශ්නයට මුහුණ දී ඇතැයි ඔවුහු සඳහන් කළහ. 

රුසිගම කන්ද සෑම වර්ෂාවකටම නිරන්තරයෙන්ම ගල් පෙරළීම් ගස් කඩා වැටීම් නායයෑම් ආදී බරපතල හානි රැසක් සිදු කරන කන්දක් බව ප්‍රදේශවාසීහු පෙන්වා දී තිබේ.

මේ වන විටත් මෙම ප්‍රදේශයේ සෑම නිවසකටම කන්ද මුදුනේ සිට ගස් පෙරළී ගල් පෙරළී විශාල අවදානම් තත්වයක පවතින බවද නිවෙස් වල දිය පහරවල් ගලා එන ආකාරයද ප්‍රදේශවාසීහු පෙන්වූහ.

කන්ද මුදුනේ සිට විශාල ගල් පර්වත පහළට වැටී ඇති ආකාරයක් එමෙන්ම නිවෙස් ගිලා බැස තිබෙන ආකාරයක් ගස් කොළන් නිවෙස් මතට ඇද වැටී තිබෙන ආකාරයක් ප්‍රදේශවාසීහු පෙන්වන්නට වූහ. 

 එහෙත් කිසිදු බලධාරියෙක් මේවා නිරීක්ෂණය කිරීමට හෝ මෙම තත්ත්වයන් සමනය කිරීමට නොපැමිණෙන බවත් ග්‍රාම නිලධාරිවරයා පමණක් ගමට පැමිණ වර්ෂාව ඇති වූ විට ඉවත්වන ලෙස දැනුම් දීම පමණක් සිදුකරන බව වැඩි දුරටත් පැවැසීය.

මෙම ජනතාවගේ ජීවිත දේපල විශාල අනතුරක් වීමට මත්තෙන් ආරක්ෂා කිරීම බලධාරීන්ගේ වගකීමක් බව ඔවුහු පෙන්වා දෙනු ලැබීය.