පත්තර පිටුවල සැඟ වුණු රට සල්ලි
November 9, 2018 07:56 am
විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (09) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු 58 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි මහා පරිමාණ ව්‍යාපාරිකයෙකි.
ඔහු අද දින අලුයම 3.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යන සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 469 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
රුපියල් එක් කෝටි නව ලක්ෂ දහහත් දහස් හාරසිය අනූ හයක් (1,09,17,496) වටිනා මුදල් තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ලේ පුවත් පත් කඩදාසි පිටුවලින් ඔතාගෙන , යූරෝ 50,000 ක් , ඇමෙරිකානු ඩොලර් 5,000 ක් සහ සිංගප්පූරු ඩොලර් 149 ක් සඟවා ගෙන සිටියදී මෙම රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ අධ්යක්ෂ කේ.එච්.ධර්මකීර්ති මහතාගේ උපදෙස් මත , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ පී.ටී.එම්.ගුණවර්ධන , රේගු අධිකාරීවරුන් වන සේනක ඇරැව්පොල සහ සුගන්ධි පද්මනාදන් යන නිලධාරීන් විසින් සිදු කර තිබුණි.
ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කලහ.
නියෝජ්‍ය රේගු අධ්යක්ෂ යූ.කේ.අශෝක රංජිත් මහතා මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය පැවැත්වූ අතර , එහිදී මෙම විදේශ මුදල් තොගය රාජසන්තක කර , මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.