නිත්තකේක්කුලම් වැව කැඩී යෑමෙන් පුද්ගලයින් කීපදෙනෙක් අතුරුදන්

නිත්තකේක්කුලම් වැව කැඩී යෑමෙන් පුද්ගලයින් කීපදෙනෙක් අතුරුදන්

November 9, 2018   06:53 am

මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේක්කුලම වැව කැඩී යාමෙන් වැව අසළ ජීවත්වු පිරිසක් අතුරුදහන්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

ප්‍රදේශවාසීන් පැවසූවේ වැව ආසන්නයේ පැළක පියා, මව හා දරුවෙකු ජීවත්ව ඇති අතර අදාළ පිරිස සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවයි.

අතුරුදහන් අදාළ පිරිස හා වැව යටතේ කුඹුරු වගාවන් කළ පිරිසක් ජල ගැලීම්වලට හසුව ඇතිද යන්න සම්බන්ධයෙන් සොයා පරීක්ෂණ මෙහෙයවන බව මුලතිව් ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී ආපදා කළමණාකරණ නිලධාරීන් පැවසූවේ ජල ගැලීම්වලට හසුව ප්‍රදේශයේ ගොවි ජනතාව හා ප්‍රදේශවාසීන් හය දෙනෙකු අතුරුදහන්ව ඇති බවට ප්‍රදේශවාසීන් පවසන අතර, අදාළ පිරිස් සොයා මුලතිව් යුධ හමුදා නිලධාරීන් සමඟ ඒකාබද්ධව සොයා ගැනීම් මෙහෙයුම් දියත් කොට ඇති බවයි.

පුද්ගලයින් හය දෙනෙකු ජලගැලීම්වලට හසුව සිටියදී සොයාගෙන ඇති අතර, ගුවන් හමුදාවේ සහයෝගය මත අදාළ පිරිස අද(09) උදැසන බේරා ගැනීමට නියමිත බවද මුලතිව් ආපදා කළමණාකරණ නිලධාරීන් පැවසීය.

ප්‍රදේශ‍යේ ගොවි ජනතාව පැවසූවේ වැව කැඩීම හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සියල්ල යටවි ඇති අතර වැස්ස වැඩි වුවහොත් ජල ගැලීම් හේතුවෙන් ගම්මාන යටවීමේ අවධානමක් මතුව ඇති බවයි.

වසර 35 කට පසුව වැව මේ වර්ෂයේ රුපියල් මිලියන 15 ක මුදලින් ප්‍රතිසංස්කරණය කොට තිබු අතර, එලෙස ප්‍රතිසංස්කරණය කළ වැව මෙලෙස කැඩී ගොස් ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ.

වැව් බැම්ම කැඩුණ ස්ථානය කඩිනමින් සකස් නොකළහොත් වැව සම්පූර්ණයෙන් සිදී ‍යනු ඇති අතර, වැවේ ජල ධාරිතාව අඩි 13 ක් වන බවද ප්‍රදේශයේ ‍ගොවි ජනතාව පවසති.

මුලතිව් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවි ඇති බවයි.