ජාතිය හා ආගම සුරක්ෂිත කළේ සංඝරත්නය බව විජයදාස කියයි

ජාතිය හා ආගම සුරක්ෂිත කළේ සංඝරත්නය බව විජයදාස කියයි

November 8, 2018   09:20 pm

ශ්‍රී ලංකාව අවදානමකට ලක්වූ කාලයන් හි දී රට, ජාතිය හා ආගම සුරක්ෂිත කිරීමට කැප වූයේ මහා සංඝරත්නය බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් පැවසීය.

අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ ගුණ සමරු උත්සවය අද (08) කෝට්ටේ ශ්‍රී  නාග විහාරයේදී පැවැත්වු අතර ගුණ සමරු උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය දශක හතරක පමණ කාලය තුළ  ශ්‍රී ලංකාවේ දේශපාලනික සමාජීය හා සංස්කෘතික කටයුතුවල දී  මාදුළුවාවේ සෝභිත හිමිපාණන් සංඝරාජ හිමිනමක් ලෙස ශ්‍රේෂ්ඨ නායකත්වයක් ලබාදුන් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජාති ආගම් භේදයකින් තොරව කටයුතු කළ, මාදුළුවාවේ සෝභිත හිමිපාණන් රට ජාතිය ආගම අනතුරකට මුහුණ දුන් සෑම අවස්ථාවක ම මුලින්ම පෙරට පැමිණි නායකත්වය ලබා දුන් බව ද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ  ආචාර්ය  විජයදාස  රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කර සිටියේය.

නාග විහාරයේ ස්ථාපිත සෝභිත හිමිපාණන්ගේ පිළිරුවට මහා සංඝරත්නය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පුෂ්පෝපහාර දක්වනු ලැබුවේය. 

පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමිපාණන් සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය ද මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.