මොන ආණ්ඩුව ආවත් ඉන්දියාව අපි සමඟ

මොන ආණ්ඩුව ආවත් ඉන්දියාව අපි සමඟ

November 5, 2018   01:49 pm

ශ්‍රී ලංකාව තුළ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ඉන්දීය රජය අවධාරණය කරයි.

යම් රටක රජය වෙනස් වුවද කිසිදු අවස්තාවක ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය වෙනස් නොවන බව ඔවුන් අවධාරණය කරයි.

මෙරට මාධ්‍යවේදීන් පිරිසක් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පසුගිය දා හමුවූ අවස්ථාවේ ඉනදීය රජයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විස්වාසයක පසුවන බව ද ඔවුන් පවසති.

ව්‍යවස්ථාවට ගරු කරමින් රටේ ප්‍රශ්න විසඳා ගැනීම ජනතාව සතු කාර්යභාරයක් වන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉතා දීර්ඝ කාලයක සිට සමීප සබඳතා පවතින බවත්, එම සබඳතා අඛණ්ඩව ඉදිරියට පවතින බව ද ඔවුන් ප්‍රකාශ කරති.

මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වු අතර, එහිදී දෙරට අතර සිදුවන ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන අතර වාණිජමය පරමාර්ථය ඇතිව එය සිදුවන බව ඉන්දීය බලධාරින් පැවසීය.

එමෙන්ම එට්කා ගිවිසුම සම්බන්ධයෙන් වන ද්වීපාර්ශවීය කටයුතු අවසන් අදියරේ පවතින බවත්, එහි ඉදිරි කටයුතු ශ්‍රී ලංකා රජයේ උනන්දුව මත සිදුවන බවද පැවසු අතර, ඉන්දියානු සාගර කලාපයේ රටවල් සමඟ තමන් සැමවිටම සමගිව කටයුතු කරන බවත් සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට 50% ප්‍රමුඛතාවක් ලබාදෙන බවත් ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.