ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණක්

ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණක්

October 18, 2018   07:21 pm

ලංකා ආයෝජන මණ්ඩලය, මහජන බැංකුව හා ලංකා බැංකුව යන ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(17) රාත්‍රීයේ දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ ආයතනවල පරිපාලනමය වශයෙන් මතුව පැවති ගැටලු සහගත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ ඇතිව බව වාර්තා වෙයි.

ලංකා ආයෝජන මණ්ඩලය, මහජන බැංකුව සහ ලංකා බැංකුව යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ විෂයභාර අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු දෙදෙනෙක් යටතේ ක්‍රියාත්මක වන ආයතන තුනක අධ්‍යක්ෂ මණ්ඩල වෙතයි.
 
ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ආයතන රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතේ ද, ලංකා ආයෝජන මණ්ඩලය සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා යටතේද පවතියි.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ ආයතනවල පරිපාලනමය වශයෙන් මතුව පැවති ගැටලු සහගත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් බව වර්තා වෙයි.

මේ අතර ජනාධිපතිවරයා ගත් මෙම තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාල‍යේදී අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවුණි.