ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති යළි රිමාන්ඩ්

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති යළි රිමාන්ඩ්

October 18, 2018   04:08 pm

රුපියල් ලක්ෂ 06  ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති  කේ. එම්. මුත්තු විනයාගම් ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 23 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් ද එම කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ  සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබීය.

අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන 23 දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදිනට ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බව කියා සිටියේය.

ජාතික පශු සම්පත්  සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපලේ ආපනශාලාව බදු දීම සඳහා රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ව්‍යාපාරිකයෙකුගෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් එහි සභාපතිවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.