සකර්බර්ග්ට ෆේස්බුක් මුල් පුටුව අහිමි වීමේ අවදානමක්
සයුරෙන් එතෙර

සකර්බර්ග්ට ෆේස්බුක් මුල් පුටුව අහිමි වීමේ අවදානමක්

October 18, 2018   01:01 pm

මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවක් සඳහා එම සමාගමේ කොටස් හිමිකාරිත්වය දරණ ඇමෙරිකානු සමාගම් 04ක් සහය පළ කර තිබේ.

ෆේස්බුක් වෙබ් අඩවිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ මතු වූ මතබේදකාරී තත්වය මුල් කරගනිමින්, කොටස් හිමිකාරීත්වය දරණ සමාගමක් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට සෙසු සමාගම් 03ක් ද සහය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සමාගම් ප්‍රධානීධුරය ස්වාධීන විය යුතු බවට එම යෝජනාවෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව කොටස් හිමිකාරීත්වය දරණ සමාගම්වල සහභාගීත්වයෙන් ලබන වසරේ මැයි මාසයේ පැවැත්වෙන රැස්වීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී මාර්ක් සකර්බර්ග් එම ධුරයෙන් ඉවත් කිරීම පිළීබඳ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මීට පෙරද සමාගම් කිහිපයක් විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවක් පරාජයට පත් කරමින් සියයට 60ක ඡන්ද ප්‍රතිශතක් හිමිකරගැනීමට මාර්ක් සකර්බර්ග් සමත්ව තිබුණි.