සයුරෙන් එතෙර

විරෝධතාවයකින් පුද්ගලයෙක් මරුට

October 18, 2018   12:11 pm

හයිටි රජයට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන තිබේ.

එහිදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

වෙනිසියුලාවේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක ඛනිජ තෙල් ආධාර වැඩසටහනකට ලද අරමුදල් අවභාවිත කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පල කරමින් හයිටි රාජ්‍යයේ ජනතාව වීථි බැස තිබේ.

පෝර්ට් ඔ ප්‍රින්ස් අගනුවර පැවති විරෝධතාවට විශාල පිරිසක් එක්ව සිටි අතර ජනාධිපති ජව්නෙල් මොයිස්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් ඔවුන් එහිදී ඉල්ලා සිටියේය.

මාර්ග අවහිර කරමින් සහ ගිනි තැබීම් සිදු කරමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීමට ආරක්ෂක අංශ මැදිහත්වී ඇති අතර එහිදී ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවද සඳහන් වෙයි.

එහිදී විරෝධතාකරුවන් පොලිසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර වෙඩි ශබ්දයක් ඇසුණු බවත් ඇතැම් පිරිස් පවසා තිබේ.

ප්‍රචණ්ඩක්‍රියාවලින් එක් පුද්ලයෙකු මියගොස් ඇති බවත් විදෙස් වාර්තාවල දැක්වෙයි.