නීතියෙන් කැඩු සම්ප්‍රදාය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට ගුටි
සයුරෙන් එතෙර

නීතියෙන් කැඩු සම්ප්‍රදාය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට ගුටි

October 18, 2018   11:33 am

ඉන්දියාවේ හින්දු කෝවිලකට කාන්තාවන්ට ඇතුළුවීමට අවසර ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදිනියන් පිරිසකට කිසියම් කණ්ඩායමක් පහරදී තිබේ.

එහිදී ඇතැම් මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණවලටද අලාභහානි සිදු කර ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි සබරිමලෙයි කෝවිලට අවුරුදු 10ත් 50ත් අතර වයස්වල පසුවන කාන්තාවන්ට ඇතුළු වීමට තහනම් කර තිබූ සම්ප්‍රදාය වෙනස් කරමින් හිටපු අගවිනිසුරු දීපක් මිශ්‍රා තීන්දුවක් ලබා දුන්නේය.

ඒ සබරිමලෙයි කෝවිලේදී කාන්තාවන්ට සහ පුරුෂයින්ට දෙආකාරකට සලකන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

නඩු තීන්දුවට අනුව ඔසප් වන වයස් පරාසයේ සිටින කාන්තාවන්ට කෝවිලට ඇතුළුවීමට අවසර හිමිවූ නමුත් ඇතැම් පාර්ශවයන්ගෙන් ඊට එල්ලවුණේ දැඩි විරෝධයක්.

මේ අතර සබරිමලෙයි දේවස්ථානයට කාන්තාවන්ට ඇතුළුවීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදිනියන් පිරිසකට සාම්ප්‍රදායික හින්දු කණ්ඩායම්වලින් බාධා එල්ලවී තිබේ.

එම පිරිස් මාධ්‍යවේදී කණ්ඩායමට පහරදී තිබූ අතර ඔවුන්ගේ කැමරා උපකරණද විනාශ කර තිබුණි.

තත්ත්වය පාලනය කිරීමට පොලිසියද මැදිහත්ව ඇති අතර සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් 50 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව පොලිස් වාර්තා සඳහන් කළේය.