රට වෙනුවෙන් අමිල මෙහෙයක් කළ අමිල

රට වෙනුවෙන් අමිල මෙහෙයක් කළ අමිල

October 18, 2018   08:00 am

ඉන්දුනිසියාවේ පැවති ආසියානු පැරා ඔලිම්පික් තරගාවලියේදි මිටර් 100 සහ 200 ඉසව්වලින් රන් පදක්කම් දිනු මදුරන්කුලිය ඩබ්ලියු. අමිල ප්‍රශාන් මහතාව පිළිගැනිමේ උත්සවයක් පුත්තලම ප්‍රාදේශීය සභාව සංවිධානය කර තිබුණි.

දරුවන් තිදෙනෙකුගේ පියකු වන ඩබ්ලියු .අමිල ප්‍රශාන් මහතා ඉන්දුනිසියාවේ පැරා ඔලිම්පික් තරගාවලියෙදි රටවල් 42 ක ක්‍රීඩකයින් සමඟ තරග වැදි දැවැන්ත ජයග්‍රහණයක් ලබා දිමට සමත්ව තිබේ.

පැරා ඔලිම්පික් තරගාවලියට තරග වැදුණ අමිල ප්‍රශාන් ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රේජීමේන්තුව නියෝජනය කරමින් තරග වැදි ඇති අතර  අමිලගේ දකුණු පාදය අහිමි වි ඇත්තේ 2008 මානුෂීය මෙහෙයුම ට එක්ව සිටියදි පුදිකුඩිරිප්පු ප්‍රදේශයේදී ය. 

මෙවර පැරා  ඔලිම්පික් තරගාවලියෙදි අමිල, රන් පදක්කම් ලබා ගැනිමට අමතරව 2014  දි ජපන් ජාතික අනීෂී අනෝමොටෝ ක්‍රීඩකයා විසින් තැබු වාර්ථාව බිඳ දැමිමට සමත්ව තිබිම වැදගත් කරුණකි. 

ලක් මව රනින් සැරසු අමිල ප්‍රශාන් ක්‍රීඩකයා පිළිගැනිමට පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා ඇතුළු විශාල පිරිසක් කටයුතු කර තිබු අතර එහිදි අමිලට සුභ පතන්නට විශාල පිරිසක් එක්ව තිබුණි.

මුන්දලම මදුරන්කුලිය කිර්තිසිංහ ගම්මානයේ පදිංචිකරුවකු වන මොහුගේ දරුවන් තිදෙනා අතරින් වැඩිමහල් දරුවා උපතින්ම ආබාධිත අතර ආර්ථික ප්‍රශ්න මැද ජීවත් වන අමිලගේ ගමන ජය ගන්නට ශක්තියක් වන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ අමිලගේ සිහිනයක් වන 2019 ලෝක මළල ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් රන් පදක්මක් ගෙන එමටත් එසේම 2020 දි ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සහභාගි වී රන් පදක්කම් රැගෙන එමත්ය.