BOI අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වෙන්න උපදෙස්

BOI අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වෙන්න උපදෙස්

October 17, 2018   08:38 pm

ආයෝජන මණ්ඩලය, මහජන බැංකුව සහ ලංකා බැංකුව යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවාහැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

අද(17) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ ආයතනවල සිදුවූ බව කියන දූෂණ අක්‍රමිකතා හේතුවෙන් මෙලෙස අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට තීරණය කර ඇති බව සඳහන් වෙයි.

අදාළ ආයතනයන් පිළිබඳව වෙනවෙනම පරීක්ෂණ සිදුකිරීමට ද නියමිතව තිබේ.

අද දෙරණ කළ විමසීමකදී සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කලේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වන ලෙස දැනුම් දී ඇති බවයි.

ඒ අනුව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් වන අතර නව අධ්‍යක්ෂක මණ්ඩලයක් කඩිනමින් ජනාධිපතිවරයා විසින් පත්කරනු ඇති බව එම ප්‍රකාශිකාව සඳහන් කළේය.