ජනපති සහ ඉන්දීය අගමැති දුරකථනයෙන් කතා කරයි

ජනපති සහ ඉන්දීය අගමැති දුරකථනයෙන් කතා කරයි

October 17, 2018   07:19 pm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් විය.

මෙහිදී නායකයින් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ අතර,  ශ්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් විය. 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී  සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම අවස්ථාවක ලබාදෙන බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත්‍රත්වය සහ සුහදශීලිභාවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බව ද නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී සඳහන් කළ අතර,  අසල්වාසී සහෝදර රාජ්‍යයන් සමඟ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් සමඟ වඩා මිත්‍රශීලි සහ සමීප සබඳතාවයන් ගොඩනගා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ද සතුට පළ කළේය.

සමීප මිතුරෙකු සහ සහෝදර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ සාර්ථකත්වයට ඉන්දියාව නිරන්තරයෙන් ලබාදෙන සහය මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ ඇගැයීමට ලක් කෙරිණි.