පළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කිරීම ගැන හොයන්න ඇමතිගෙන් උපදෙස්

පළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කිරීම ගැන හොයන්න ඇමතිගෙන් උපදෙස්

October 17, 2018   04:38 pm

2019 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය බස්නාහිර පළාත් සභාව විසින් නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

එම චක්‍රලේඛයේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී ලකුණු ලබාදීමේ ක්‍රමවේදයේ යම් සංශෝධනයක් සිදු කිරීමට බස්නාහිර පළාත් සභාව කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වාදෙයි.

ඒ හේතුවෙන් විදුහල්පතිවරුන් සහ මව්පියන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

රේඛීය අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ සංශෝධනය කිරීමේ බලය එම රේඛීය අමාත්‍යාංශයටම පැවරී ඇති අතර බස්නාහිර පළාත් සභාව විසින් අත්තනෝමතිකව සහ නීති විරෝධීව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව අදාළ සංශෝධන සිදු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.