තෙබුවන නම තැබූ පොලිස් සැරයන්ගේ පාපොච්චාරණය

තෙබුවන නම තැබූ පොලිස් සැරයන්ගේ පාපොච්චාරණය

October 17, 2018   04:05 pm

නීති වීරෝධි ලෙස වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ රට පුරා  අන්දොලනයක් ඇති කළ 4925 අංකය දරණ පොලිස් සැරයන්වරයා නමින් සනත් ගුණවර්ධන විය.

1989 වසරේ ජනවාරි 10වනදා කොළඹ බම්බලපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය ආරම්භ කළ සනත් ගුණවර්ධන මේ වන විට වසර 30කට ආසන්න කාලයක් පොලිස් සේවයේ රාජකාරිවල නිරතව සිටියි.

ඉන් පසුව උතුරේ ඔඩ්ඩු සුඩාන් ප්‍රදේශයේ සේවය නිරතව සිටියදි  1990 වසරේ 6වන මස 13වනදා ලෝකයේ දරුණුතම ත්‍රාස්තවාදි සංවිධානය වන එල්.ටී.ටී.ඊ ත්‍රාස්තයන්ගේ අත්අඩංගුවට පත් වන සනත් ගුණවර්ධන මහතා වසර 4ට ආසන්න කාලයක් කුරිරු වඳ හිංසා විඳි ශ්‍රී ලංකා පොලිස් සේවය වෙනුවෙන් කැප වු නිලධාරියෙකි.

රාජකාරියට කැප වී සේවය කිරිම සනත් ගුණවර්ධන මහතාගේ ජිවිතයට නැවතත් අභියෝග රැසකට මුල පිරුවේය.

ඒ  1995 වසරේ කළුතර පොලිස් වසමේ අළුත් කඩේ ප්‍රදේශයේ දි එවකට කොට්ඨාශ භාර පොලිස් අධිකාරි චන්ද්‍ර පෙරේරා නිලධාරියා සිදු කළ නියෝගයකට අනුව සිදු කළ වෙඩි තැබිමකින් සිදු වු ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමඟයි.

අධිකරණය හමුවේ තමන් එවැනි නියෝගයක් සිදු කොකළ බවට පොලිස් අධිකාරිවරයා සිදු කළ ප්‍රකාශය හමුවේ තවමත් කිසිදු උසස් වීමක් හෝ වැටුප් වැඩිවීමක් නොමැතිව වසර 26ක් සේවයට කැප වී රාජකාරි කිරිමට 4925 අංකය දරණ පොලිස් සැරයන් සනත් ගුණවර්ධනට සිදු විය.

මේ වන විට ඔහුගේ මුලික වැටුප රුපියල් 25000 ක් පමණක් බවත් තමා හා රාජකාරි සිදු කරන අනෙක් නිලධාරින්ගේ මුලික වැටුප 45000 පමණ වන බවත්  සනත් ගුණවර්ධන මහතා පවසයි.

ඉහළ සඳහන් කළ පරිදි කළුතර ප්‍රදේශයේ සිදු වු ඝාතන සිද්ධියට අදාල ණඩුවට පෙනි සිටිම සඳහා එක් වාරයකට රුපියල් 13000ක් නීතිඥවරුන්ට ගෙවීමට සිදු වන බවද ඔහු පවසයි.

රාජකාරි ජිවිතය තුළ මෙවැනි අභියෝග කොතෙකුත් ආවද එයට නොබියව මුහුණ දෙමින් තෙබුවන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටියදි ඔහු පසු ගිය මාසයේ 29 වනදා අළුයම 4.30ට නීති වීරෝධි ලෙස වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීම සිදු කරයි. 

නීති විරෝධිව වැලි ප්‍රවාහනය කළ බවට සාක්ෂී තිබියදිත් අදාල වැලි ප්‍රවාහනය කළ ලොරි රථය සහ රියදුරුව කිසිදු විභාගයකින් තොරව නිදහස් කිරිම සහ ඉහළ නිලධාරියෙකු විසින් ඒ සම්බන්ධයෙන් තමන්ට බැන වැදිම සනත් ගුණවර්ධන නිලධාරියා නොහික්මුණු නිලධාරියෙක් බවට පත් කිරිමට හේතු විය.

තම රාජකාරි ගිනි අවිය අතැතිව තෙබුවන නගර මධ්‍යයේ තමාට සිදු වු අසාධාරණයට යුක්තිය ඉටුකර ගැනීමට සටන් කිරිමට සනත් ගුණවර්ධන නිළධාරියා පසු බට නොවීය.

කෙසේ වෙතත් පැය 2 කට පමණ පසු පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරින් විසින් පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත් අතර එහිදි සැරයන්වරයා අත තිබු ගිණිඅවියද ක්‍රියාත්මක විය.

මෙ හේතුවෙන් ඔහුට රක්ෂිත බන්ධනාගාර ගත වීමටද සිදු විය.

තමාගේ නිර්දොශි භාවය ඔප්පු කිරිමට උත්සහ කළ සනත් ගුණවර්ධන සැරයන්වරයාට විවිධ වු චෝදනා එල්ල වුයේ දිවි හිමියෙන් තමන් සේවය කළ ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේන්මය ,මානසික රොගියෙක් බවටද සනත් ගුණවර්ධන සැරයන්වරයාට පසුව චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානයද යොමු විය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සනත් ගුණවර්ධන සැරයන්වරයාට රුපියල් මිලියනයක මුදලක් ප්‍රධානය කිරිමට ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ දී කටයුතු කළ බවයි.

ඒ ඔහුගේ රැකියාව නොමැති වීමෙන් අසරණ තත්ත්වයට පත්ව ඇති පවුලේ නඩත්තුව සඳහාය.

කෙසේ අද(17) දිනයේ දී සනත් ගුණවර්ධන මහතා නැවත රාජකාරීයේ පිහිටුවනු ලැබීය.

කෙසේ වෙතත් එම පත්වීම නිල වශයෙන් මෙතෙක් තමා වෙත නොලැබුණ බව ද ඔහු අද දෙරණට පැවසීය.

තමාගේ වාසනාවකට මෙය මෙසේ සිදු වුවත්, තමා පෙර අවස්ථාවේ ආවේගශීලී වූ බවත් කිසි විටෙකත් එම හැසිරීම තමා අනුමත නොකරන බවත් පැවසු සනත් ගුණවර්ධන මහතා තම රාජකාරීය නිසි ලෙස ඉටු කිරීමට කිසි විටෙකත් බිය නොවන ලෙසත් අද දෙරණට පැවසීය.