ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන අර්ජුන කථා කරයි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන අර්ජුන කථා කරයි

October 17, 2018   02:44 pm

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ දැනට භාවිතයට නොගන්නා තෙල් ටැංකි කිසිම අවස්ථාවක විකුණා දැමීමක් නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 

එතුමා අවධාරණය කරන්නේ ආයෝජකයින් සමඟ එක්ව එම තෙල් ටැංකි සංවර්ධනය කිරීමට පමණක් කටයුතු කරන බවයි. 

රටට අවාසිදායක ගිවිසුම්වලට එළැඹිම තම ප්‍රතිපත්තිය නොවන බවත් ඔහු අවධාරණය කළේය. 

ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේ අද (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. 

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ගැන විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනාවලට පිළිතුරු දීම සඳහා එම මාධ්‍ය සාකච්ඡාව කැඳවීය. 
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි සියල්ල 2003 වසරේදී ඉන්දීය ඔයිල් සමාගමට පවරා ඇති බවයි. 

තමා දැන් උත්සාහ කරන්නේ එයින් කොටසක් හෝ නැවත වරක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

“2003 වසරේදී ඉන්දීය ඔයිල් සමාගමත් එක්ක ශ්‍රී ලංකා රජය ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා තෙල් ටැංකි ටික බදු දෙන්න. ඒකේ තව කොන්දේසියක් තියෙනවා මූල්‍යමය කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ යුතුයි කියලා. ඒක හරියට සිද්ධ වෙලා නැහැ. දැනට නඩුවක් පවතින නිසා මම ඒ ගැන කරුණු කියන්නේ නැහැ. 

නමුත් මම මේ අමාත්‍යාංශයට එනවිටත් තෙල් ටැංකි තාම පාවිච්චි කරන්නේ ඉන්දියානු ඔයිල් සමාගම. එම සමාගම දැනට තෙල් ටැංකි 15ක් පාවිච්චි කරනවා. අනිත් ටැංකි ටික මේ අවුරුදු 18ම දිරාපත් වෙවී යනවා. මේ කිසිම කෙනෙක් එය සංවර්ධනය කරන්න මොකුත් කරලා තිබුණේ නැහැ. පස්සේ ඒ ගැන අවධානය යොමු කරලා මම තීරණයක් ගත්තා කැබිනට් පත්‍රිකාවක් දාන්න. 

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිහිටි භූමියේ අයිතිය තියෙන්නේ රජයට. එහි තෙල් ටැංකි 100ක් තියෙනවා. ඒ අනුව කැබිනට් පත්‍රිකාවෙන් අපි පළමුව ඉල්ලා තියෙන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිහිටි ඉඩමේ අයිතිවාසිකම රජයටම තියාගෙන අලුත් ගිවිසුමට යන්න. දෙවැන්න දැනට ඉන්දීය ඔයිල් සමාගම පාවිච්චි කරන ටැංකි 15 ඒගොල්ලන්ටම ලබා දෙන්න. 

ඉතිරි ටැංකි අසූපහ ඉන්දීය ඔයිල් සමාගමත් තෙල් සංස්ථාවත් එක්ව පිහිටුවන පොදු සමාගමකින් සංවර්ධනය කිරීමට තෙවැනුව ඉල්ලා තිබෙනවා. එසේ සංවර්ධන කරන තෙල් ටැංකි 85න් 16ක් තෙල් සංස්ථාවටම පවරා ගැනීමටත් මම ඉදිරිපත් කළ කැබිනට් ප්‍රතිකාවෙන් යෝජනා කර තිබෙනවා. නැව්වලට ඉන්ධන සැපයීමේ ව්‍යාපාරය කිරීමට එයින් අප බලාපොරොත්තු වෙනවා.  

ඊට අමතරව උතුරු නැගෙනහිර ප්‍රදේශයේ තෙල් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ඇති කරන්නටත් අපේක්ෂා කරනවා. මොකද අපිට කොළඹ සිට උතුරු නැගෙනහිරට තෙල් ප්‍රවාහනයේදී විශාල මුදලක් වැය වනවා. නමුත් ත්‍රිකුණාමලයේ සිට එම ප්‍රදේශවලට ඉන්ධන බෙදා හැරීමෙන් විශාල මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. ඒ වගේම පොදු සමාගමට තෙල් ටැංකි ලබා දෙන්නේ කාලසීමාවකට. ඒ කැබිනට් මණ්ඩලට තීරණය කරන කාලයකට. ඒක මම තීරණය කරන කාලයකට නෙමෙයි....”යිද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවසීය.