හිටපු ධීවර නියෝජ්‍ය ඇමතිට එරෙහි නඩුව විභාගයට දින දෙයි

හිටපු ධීවර නියෝජ්‍ය ඇමතිට එරෙහි නඩුව විභාගයට දින දෙයි

October 17, 2018   11:42 am

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මිගමුව කලපුව සංවර්ධනය ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ නඩුව දෙසැම්බර් මස 12 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුව අද(17) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැදවනු ලැබුවේය.

එහිදී විත්ති පාර්ශවයේ නීතිඥවරු අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙම චෝදනාවට  අදාළව බරපතළ වංචා පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් ද විමර්ශනයක් පවත්වා ඇති බවත් එම විමර්ශනවලට අදාළව එම කොමිසම විසින් නිකුත් කළ නිර්දේශ වල පිටපතක් තමන් වෙත ලබා දෙන්නැයි ජනාධිපති ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා අදාළ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති නිර්දේශ පිළිබඳ වාර්තාවක් විත්ති පාර්ශ්වය වෙත ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ලේකම්වරයාට නියෝග කළේය.

එමෙන්ම විත්තිකාර සරත් කුමාර ගුණරත්න සහ නඩුවේ 06 විත්තිකරු වන සර්දා මුනිදාස යන අයට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම  දෙසැම්බර් මස 10 වනදා දක්වා තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ.

එම ඉල්ලීම පිළිගත් හා විනිසුරුවරයා විත්තිකරුවන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 10 දක්වා තාවකාලිකව ඉවත් කිරීමට නියම කළ අතර නඩු විභාගය දෙසැම්බර් මස 12 වනදා පැවැත්වීමටයි නියම කළේය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ මිගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් එවකට ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මිගමුවෙ පැවති රැස්වීම සඳහා වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න ඇතුළු හය දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් සිදු කළ නිර්දේශවලට අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.