යාපනයේ ඉඩම් නිදහස් කරන්න සාකච්ඡාවක්

යාපනයේ ඉඩම් නිදහස් කරන්න සාකච්ඡාවක්

October 17, 2018   06:21 am

යාපනය ආරක්ෂක අංශ සතුව පවතින සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ඊයේ (16) යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

යාපනය ආරක්ෂක අංශ සතුව පවතින නිදහස් කළ හැකි ඉඩම් සියල්ල එළැඹෙන දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කරන ලෙසට ලැබී ඇති නියෝග මත අදාළ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ජාව පැවැත්වු බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන් පැවසූහ.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා මහතා, විජයකලා මහේශ්වරන් මහත්මිය, එම්.ඒ.සුමන්තිරන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති ‍මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා,යාපනය නාවික හමුදා ප්‍රධානීන්,යාපනය ගුවන් හමුදා ප්‍රධානීන් ඇතුළු පිරිසගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ජාව පැවැත්විණ.

පසුගියදා යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරයේදී ජනාධිපතිවරයාද පැවසුවේ යාපනය ආරක්ෂක අංශ සතුව පවතින සිවිල් ජනතාවට අයිති නිදහස් කළ හැකි සියලු ඉඩම් මුල් පදිංචිකරුවන් වෙත ලබාදිය යුතු බවයි.

සාකච්ජාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේශ්වරන් මහත්මියගෙන් විමසීමේදී මහේශ්වරන් මහත්මිය පැවසූවේ ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයේදී ලබාදුන් නියෝග යටතේ ආරක්ෂක අංශ යටතේ පවතින,නිදහස් කළ හැකි සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට නියමිත අතර, පලාලි කලාපයේ පවතින ඉඩම් බහුතරයක් නිදහස් කිරීමටද නියමිත බවයි.

ආරක්ෂක අංශ සතුව පවතින සිවිල් ජනතාවගේ ඉඩම් බහුතරයක් දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කිරීමට නියමිත බවද යාපනය ආරක්ෂක අංශ සාමාජිකයින් පැවසූහ.

යාපනය ප්‍රදේශවාසීන් පැවසූවේ තමන්ගේ ඉඩම් නිදහස් කර ගැනීම වෙනුවෙන් තමන් වර්තමාන රජය බලයට පත් කර ගැනීමට කටයුතු කළ අතර,රජය අදාළ පොරොන්දු ඉට කළ යුතු බවයි.

සාකච්ජාවට යාපනය රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද එක්ව සිටියහ.