මව් බිමේ අභිමානය සමඟ වාර්තා අතරට එක් වු දක්ෂයෝ

මව් බිමේ අභිමානය සමඟ වාර්තා අතරට එක් වු දක්ෂයෝ

October 12, 2018   09:25 pm

තුන්වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලට එක්වී සිටින ශ්‍රී ලංකා පැරා ක්‍රීඩකයෝ තවත් එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කරමින් දිනය නිමා කරන්නට විය.

ඊයේ(11) සවස දිනා ගත් මෙම පදක්කමත් සමඟ මේ වනවිට ශ්‍රී ලංකාව දිනා ගත් පදක්කම් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ගෙලෝරා බන්ග් කාර්නෝ ක්‍රීඩා සංකීර්ණයේ ඊයේ පැවැති  දණ හිසෙන් පහළ පාදයක් අහිමි හෝ කකුලක් අප්‍රාණික තත්ත්වයේ ඇති ක්‍රීඩක වර්ගීකරණය යටතේ ( F42 / 61 / 63) යගුලිය විසි කිරීමෙන් පාලිත බණ්ඩාර මීටර් 13.21කින් රිදී පදක්කම දිනා ගත්තේය. 

හදිසි අනතුරකදී පාදයක් අහිමි වූ පාලිත ඊයේ වාර්තා කළ දක්ෂතාව ශ්‍රී ලංකා වාර්තාව ඉක්මවා යෑමකි. 

ඔහු සමඟ එම තරගයට පිවිසි අජිත් කාරියවසම් මීටර් 7.76කින් 8වැනි ස්ථානයට පත් විය.

ඉතිහාසයේ පළමු වරට ආසියානු මට්ටමේ පදක්කමක් දිනා ගනිමින් රෝද පුටු ටෙනිස් යුගල තරගයේදී සුරේෂ් රංජන් ධර්මසේන හා ලසන්ත සුරේෂ් රණවීර 6 – 1 හා 6 – 2ක් ලෙස 2-0කින් තායිලන්තය පරදවා ලෝකඩ පදක්කම දිනා ගත්හ.