කැලණි ගඟ හා කොළඹ ආශ්‍රිත ගංවතුර පාලනයට කඩිනම් පියවර

කැලණි ගඟ හා කොළඹ ආශ්‍රිත ගංවතුර පාලනයට කඩිනම් පියවර

October 12, 2018   05:31 pm

කැලණි ගඟ සහ කොළඹ නගරය ආශි‍්‍රත ගංවතුර පාලනය සඳහා කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය අතර එය කිසිසේත් ප‍්‍රමාද කළ නොහැකි කටයුත්තක් බව ජනාධිපතිවරයා පවසයි. 

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ කැළණි ගඟ පහල මිටියාවතේ වම් ඉවුර හා කොළඹ නගරය ආශි‍්‍රත ගංවතුර පාලනය වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යාපෘති වාර්තාව පිළිබඳ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී ය.

ආපදා කළමනාකරණ අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ කේ.ඩී.ඒ.එම්. නානායක්කාර මහතා විසින් මෙම  ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කර තිබෙන අතර, එහි කටයුතු කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

2008, 2009 සහ 2016 වසරවල කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවලට බලපෑ ගංවතුර තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනයක් සිදු කරමින් මෙම ව්‍යාපෘති වාර්තාව සකස් කර තිබේ.

ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට අදාළ සියලු ආයතනවල නියෝජිතයින්ගේ සමන්විත කමිටුවක් පත් කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ව්‍යාපෘති වාර්තාව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද උපදෙස් දුන්නේ ය.

අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,  කඩුවෙල නගරාධිපති බුද්ධික තුෂාර ජයවිලාල්, කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ඩී.එම්.එල්.කේ. ද අල්විස් මහතා ඇතුළු නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.