ඇළකට වැටී තවත් සද්ධන්තයෙක් මරුට

ඇළකට වැටී තවත් සද්ධන්තයෙක් මරුට

October 12, 2018   10:45 am

වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ ඇළක තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවී  ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

වනජීවී නිලධාරීන් සදහන් කළේ මියගොස් ඇති වන අලියා සෝමාවතිය රක්ෂිතයේ සැරිසරමින් සිටි රෝගාතුර සිටි අයෙක් බවයි.

වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ වෙල් යායක් අසලින් ගලා බසින ඇළක වැටී මියගොස් සිටි මෙම වන අලියා දුටු ගම්වාසීන් ඒ පිළිබඳ වැලිකන්ද වනජීවි කාර්යයාල නිලධාරීන් දැනුවත් කර තිබුණි.

වැලිකන්ද වනජීවී කාර්යයාල නිලධාරීන් පැමිණ මියගොස් සිටි වන අලියා පරීක්ෂා කළ අතර එම නිලධාරීන් සඳහන් කළේ මෙම වන අලියා සෝමාවතිය රක්ෂිතයේ සැරිසරමින් සිටි වයස අවුරුදු 30ක් පමණ වන වන අලියෙකු බවයි.

එම අලියා කලක සිට පාදයක ඇති වූ තුවාලයක් හේතුවෙන් රෝගාතුරව සිට ඇති බවත්  ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අවස්ථා කිහිපයකදී අලියාට ප්‍රතිකාර කර ඇති බවත් වනජීවී නිලධාරීන් සඳහන් කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණය අද(12) පෙරවරුවේ පැවති අතර මහවැලි කලාපය බාර වන ජීවී පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි සඳහන් කළේ පාදයක තිබූ තුවාලවල ඇති වූ ආසාදන තත්ත්වය උත්සන්න වීමෙන් මෙම වන අලියා මියගොස් ඇති බවයි.