පැය 6ක මෙහෙයුමකින් පසු පැලවත්තේ ගින්න නිවයි

පැය 6ක මෙහෙයුමකින් පසු පැලවත්තේ ගින්න නිවයි

October 11, 2018   07:14 pm

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික නිමි ඇඳුම් වෙළඳ සැලක අද පෙරවරු 11ට පමණ හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබේ.

ගින්න සීග්‍රයෙන් පැතිර යෑම වැළැක්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක්, කොළඹ මහනගර සභාවේ ගිනි නිවන රථ දෙකක්, දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවන රථයක්ද මෙන්ම හා ගුවන් හමුදා ගිනි නිවන රථ 2ක්ද යොදා ගැණුණි.

එමෙන්ම යුද හමුදාවේ නිලධාරීන් 100 දෙනෙකු පමණ ගින්න මැඩ පැවැත්වීම සඳහා යෙද වූ බව යුද හමුදාව ප්‍රකාශ කළේය.

නිමි ඇඳුම් වෙළෙඳ සැලෙහි ඉදිරිපස කොටසේ හටගත් ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන නිලධාරීන් කටයුතු කළද, වෙළෙඳ සැලෙහි පිටුපස කොටසින් යළි ගින්න ව්‍යප්ත වීම ආරම්භ වී තිබුණි.

මේ හේතුවෙන් යාබඳ පිහිටි ටයර් වෙළඳසැලකටද ගින්න පැතිර ගොස් තිබිණි.

ගින්න ව්‍යප්ත වීම පාලනය සඳහා ප්‍රදේශයේ විදුලිය සැපයුමද විසන්ධි කෙරුණු අතර, බොරැල්ල-කොට්ටාව 174 බස් මාර්ගයේ වාහන ධාවනයද සම්පූර්ණයෙන් නවතා දැමුණි.

ගිනි නිවීම් නිලධාරීන්, යුද හමුදා සහ ගුවන් හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගිනි නිවීමේ කටයුතුවල නිරත වන පසුබිමක ගින්න පාලනය සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයක සහයද ලබා ගනු ලැබීය.

පැය 6ක් පමණ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව ගින්න පාලනය කර ගැනීමට හැකි වූ අතර ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව  නොමැත.