සාගර පත්ලේ ඇති සන්නිවේදන රැහැන්වලට දැඩි ආරක්ෂාවක්

සාගර පත්ලේ ඇති සන්නිවේදන රැහැන්වලට දැඩි ආරක්ෂාවක්

October 11, 2018   07:02 pm

කොළඹ නගරය කේන්ද්‍රකරගනිමින් ඉන්දියානු සාගර පතුලේ පවතින සන්නිවේදන රැහැන්වල ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද(11) කොළඹදී ආරම්භ වූ ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.

ඉන්දියානු සාගරය සහ එහි අනාගතය යන තේමාව යටතේ ඉන්දියානු සාගර සමුළුව අද කොළඹදී ආරම්භ වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.

මෙම සමුළුව සඳහා ඉන්දියාව,අමෙරිකාව,චීනය සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

“වසර 2025 ඉලක්ක කරගත් රජයේ ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ වාණිජ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණ වී තිබෙනවා.

ඒ අනුව අපගේ සාගර කලාපයේ ගමනාගමනයේ නිදහස තහවුරු කිරීමත් සාගරය පතුල උපයෝගී කරගනිමින් පවත්වාගෙන යන ඩිජිටල් සබඳතාවල නිදහස තහවුරු කරගැනීමත් අත්‍යවශ්‍ය වනවා.

සියයට 80 කට වඩා වැඩි අන්තර්ජාල දත්ත ප්‍රවාහනය කෙරෙන්නේ සාගර පත්ලේ ඇති සන්නිවේදන රැහැන් මාර්ගයෙන්.

ආර්ථික හා වාණිජ වශයෙන් ඉදිරියට එන බොහෝ රටවල් වර්තමානයේ රඳා පවතින්නේ එය මතයි.මේ අනුව සාගර පතුලේ ඇති සන්නිවේදන රැහැන් මගින් ආණ්ඩුවකට පාලනය කළ නොහැකි අවුල්සහගත තත්ත්වයන් මෙන්ම ආරක්ෂාව පිළිබඳ තර්ජනතාත්මක තත්ත්වයන් මෙන්ම වගකීම් පිළිබඳ ගැටලු නිර්මාණය වනවා.

එහෙත් සාගරය පදනම් කරගත් මෙම ගැටලු පිළිබඳව අපි දක්වන්නේ ඉතා අල්ප අවධානයක්.නමුත් ඒවා නුදුරේදීම භයානක ප්‍රතිවිපාක ගෙන දීමත් සමත් වනු ඇති.ඉන්දියානු සාගරය මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව මෙම ගැටලු පිළිබඳව වඩා ගැඹුරු අවධානයකින් කටයුතු කිරීමට සූදානම්.

මේ නිසා අප සාගර පතුලේ පවතින සන්නිවේදන රැහැන්වල ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් පිහිටුවාගැනීම අවශ්‍ය වනවා.ඒ සඳහා මෙහි නියෝජිත රටවලට විශේෂඥ දැනුම හා තාක්ෂණික සහායන් අප වෙත ලබා දිය හැකියි.“